පෙට් සෙමෙට්‍රි – PET SEMATARY

Horror

PET SEMATARY

 

පෙට් සෙමෙට්‍රි – PET SEMATARY

පෙට් සෙමෙට්‍රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද දිනයේදී සලකනු ලැබෙයි. එහෙත් දැනගන්නට තිබෙන අන්දමට, මෙම කෘතිය පළ කිරීමට පවා අදහසක් කිසිසේත්ම කතුවරයා තුළ තිබී නැත.

මෙතුවක් කලට කිංග් ලියා තිබෙන වෘතාන්ත සියල්ලක්ම පාහේ අඳුරු එමෙන්ම අතිභයංකාර ශානරයේ නවකතා වුවද ඒ අතරේ අද දිනය වනවිට පෙට් සෙමෙට්‍රි යනු වඩාත්ම සිත කළඹවාලන හා හදවත පීඩාවට පත්කරන වෘතාන්තය බව පිළිගන්නවාට කිසිදු විවාදයක් නොමැත. ඔහුගේ බහුතරයක් නිර්මාණයන්ගෙන් ගම්‍ය වූ අද්භූතබව හා පියවි ඇසට නොපෙනෙන යම්කිසි බලවේගයන් පිළිබඳව මෙම කෘතියෙහිද අඩංගු වූවද මෙහි ඔහු සාකච්ඡාකරන අධ්‍යාත්මික සත්‍ය අනෙක් කෘති අහිබවා සිටියි. මෙහි ප්‍රධාන චරිතය වන දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව අධිකව බලපෑම් එල්ලකරන්නේ හා දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ සැබෑවටම දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමීවීමේ දැඩි දුක හා වේදනාව මගිනි.තමන් අතිශයින්ම ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත් විට ඇතිවන අතිමහත් වූ කණගාටුවෙනි. එම අපා දුකේ කිමිදී, මැරී මැරී ජීවත් වෙමින් සිටියදී, සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද…….?

පෙට් සෙමෙට්‍රි යනු හුදෙක්ම අද්භූත ශානරයේ කතාවක් නොවන බව පැහැදිලිවම කිව යුතුය.ලුවිස් ක්‍රීඩ් නම්වූ දොස්තර මහතාත්, ඔහුගේ පෙම්බර බිරිඳ රේචල්, දියණිය එලී, පුතනුවන් ගේජ් හා ඔවුන්ගේ සුරතල් බළලා චර්ච් වටා මෙම කතාව දිව යයි. ඔවුන් චිකාගෝ සිට මේයින් බලා ආ ගමනේ දී ජඩ් ක්‍රැන්ඩල් නම් වූ වයෝවෘද මිනිසා ඔවුන්ගේ නවමු නිවස ඉදිරිපස නිවසේ වෙසෙන එකම අසල්වැයා විලසින් ඔවුනට හඳුනා ගන්නට ලැබෙයි. ක්‍රීඩ් පවුළේ නව නිවස පිටුපසින් වැටුනු අඩි පාරක් වෙයි. එය කෙළවර සුරතල් සතුන්ගේ සුසාන භූමියකි. එයට ඔබ්බෙන් වූ දඬු වැටට එපිටින් දිවෙන අද්භූත අන්ධකාර රහසකි.

මේ කෘතිය දුටු පමණින් බොහෝ අය සිතනුයේ සුරතල් පූසකු පිළිබඳව අද්භූත කතාවක් බවයි. කිංග් මහත්මයා මෙහි කරුණු කාරණා විස්තර කර ඇති දීර්ඝ විලාසය සමහරුට වැල්වටාරම් ලෙස පෙනෙයි. එහෙත් විචාර බුද්ධියෙන් හා මනා සංයමයකින් මෙය කියවන පාඨකයා මෙහි ගැඹුර දකී. මෙයින් කියැවෙන අධ්‍යාත්මික සත්‍ය සොයා පාදා ගනී. පියෙකුට තම දරුවෙකු වෙනුවෙන් කළ නොහැක්කේ කුමක්ද යනවග තේරුම් ගනියි. අවසානයේ ස්වභාව ධර්මයට එරෙහිව කාහටවත් යානොහැකි බව පසක් කරයි. පිටු 720ක් පුරා දිවයන්නේ මෙම සත්‍යයි. සාහිත්‍ය විප්ලවයි. එහෙයින් මෙහි එන එකම අකුරක් හෝ එකම වදනක් හෝ පාඨකයාට මඟහැරයා නොහැක.

මෙහි ඇත්තේ මිත්‍යාවක් යැයි කෙනෙකුට තර්ක කළ හැක. එය සත්‍යකි. සත්‍යක් යැයි ඔප්පුකරනා තෙක් මේ ලෝකයේ සෑම දෙයම මිත්‍යාවකි. එය සත්‍යක් බව ඔප්පුකළ දිනේ මිත්‍යාව වියැකී එය සත්‍යක් බවට පෙරලේ. කාහටත් ස්වභාවධර්මයට පිටින් යාමට නොහැකිබව සත්‍යකි. එහෙත් මෙම නොපෙනෙන බලවේග අසත්‍ය යැයි අපට කිව හැකිද? සුරතලුන්ගේ සුසානයට එපිටින් පිහිටි මික්මැක් සොහොන්භූමියේ පවතින අද්භූත බලවේගය දැකගන්නට තරම් අපගේ අක්ෂි පද්ධතිය ගෝචරද? එතරම් සූක්ෂමද? ඒවා ශ්‍රවණය කිරීමට අපේ දෙසවන් දියුණුවී ඇතිද? එසේනම් අපට බලාගත නොහැකි, අපට අසාගත නොහැකි බලවේග අප අවට නැතැයි කීමට අපට ඇති අයිතිය කුමක්ද? පෙට් සෙමෙට්‍රි කියවා ඔබට ගිලීයාමට හැකිවන්නේ මේ සදාතනික ගැඹුරු දහමේය. මෙම සදාතනික සත්‍ය ගඟුලේය.

එහෙයින් දයාබර පාඨකයිනි මෙම පෙට් සෙමෙට්‍රි නවකතාව සුරතල් සතුන්ගේ සුසානභූමියක් පිළිබඳව හෝ පූසකුගේ මරණයක් පිළිබඳව හෝ යන පටු දැක්මෙන් මිදී මෙහි අන්තර්ගත ගැඹුරට කිමිදී එහි පවසන සදාතනික සත්‍යය හා දාරක ප්‍රේමය යන පුලුල් දැක්මට පිවිස එහි නියම රසය විඳගන්නා මෙන් මම ඔබට යෝජනා කරමි. පෙට් සෙමෙට්‍රි ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මියුසස් පබ්ලිෂින් හවුස් ආයතනය විසිනි.

Details

  • Categories: Authors, Books, Chandana Gunasekara, Muses Publishers, Stephen King, නවකතා, පරිවර්තන, සිංහල පොත්
  • ISBN – 978955