My Blog

My Blog Posts


  • June 18, 2021

මගේම ලෙයින් මසින් උපන් සාහිත දරුවාගේ උපතමෙලෙසින් සහෘද ඔබ සැමට දන්වා සිටන වග නම්…

අපේ ජීවිත කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. හරියට මහා වැවක් වගේ. නැත්නම් ඉමක් කොනක්නැති විසල් අහස වගේ. ඉඩෝරයක් ඇවිත් ජලකඳේ අවසන් බිංදුවත් හිඳිලා ගිහින් හැම අතටමඉරිතලලා යන වැවම තමයි ඉන්පස්සෙ වැටෙන මහා වරුසාවෙන් පිරී ඉතිරිලා ගිහින් නෙළුම්මානෙල් මලින් ගැවසිලා ජීවමාන රජ දහනක් වෙන්නෙ. එතකොට වැවට ඉඩෝරයෙන් හිටපුදුක්ඛිත කාලෙ අමතක වෙනවා.ඒ වගේම තමයි විටෙක දුකින්, අපේක්ෂාභංගත්වයෙන් පිරීඉතිරිලා මුකුළිත වෙලා යන අපේ ජීවිතත් ඊළඟ නිමේෂයේ සතුටින් හා බලාපොරොත්තුවලින් පිරීඉතිරිලා ගිහින් විකසිත වෙන්නෙ. 

මේ සතිය මට ඇරඹුනේ දුකකින් මගේ හදවත වෙලාගෙන. ඒ මගේ සමීපතම සොහොයුරෙකු වූනයනසේන වන්නිනායක කලාකරුවානන්ගේ වියෝව. ඒත් අද උදෑසන මගේ ජීවිතයට නවමුබලාපොරොත්තුවක හා නව ජීවයක හසරැල්ලක් ආරෝපණය වෙලා. හරියට අලුත් ඉරක් පායලාවගේ. 

අඩ සිය වසකට මදක් වැඩි මගේ දිවි ගමනේ මෙතෙක් මට සාහිත්‍ය දරුවන් තිදෙනකුබිහිකරන්නට හැකියාව ලැබුණා. ඒත් ඒ අය මගේම දරුවන් වගේ මට දැණුනට එයාලා මගේමලෙයින් මසින් උපන් අය නෙමේ කියල කණගාටුවෙන් උනත් මට පිළිගන්න වෙනවා. මොකද ඒතමයි සැබෑ සත්‍යය. ඒ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු නවසීලන්ත ජාතික මවකටඕස්ට්‍රේලියාවෙදි උපන් අය. අනෙක් දරුවා ඇමෙරිකානු පියකුට දාව ඇමරිකාවෙදි උපන් අයෙක්. මං කළේ එයාලව මගේ මව්බිමේ පරිසරයට හුරු කරලා අපේ සිංහල භාෂාව පුරුදු කරපු එකවිතරයි. ඒත් ඒවයේ තිබුණෙ ඇමෙරිකානු එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු සිතුම් පැතුම්. ඒජානමය හැඩතල.

ඒත් අද මට මගේම ලෙයින් මසින් උපන් මගේ පළමු සාහිත දරුවා සහෘද ඔබට හඳුන්වා දීමේභාග්‍ය උදාවෙලා. ඒ උප්පත්තිය සිදුවෙනකල් මට මෙතරම් කාලයක් බලාගෙන ඉන්නට සිද්ධඋනා. අඩ සිය වසක්. අපේ මේ කෙටි ජීවිතවල අවුරුදු 50 ක් කියන්නෙ සුළුපටු කාලයක් නෙමේ. ඒත් අද හරි මට ඒක ලබා ගන්නට හැකි වීම ගැන මගේ හිතේ උතුරන සතුට,මහා වැසි වැටිලාවාන් දාලා ඉවුරු බිඳගෙන යන මහා වැවක් වගේ. 

තමන්ගෙම හදවත ගැහෙනා රාවය, ජීවන රිද්මය, සන්තානයේ ස්වරය කළු තීන්තෙන් සුදු පැහැකොළයක මුද්‍රණය වෙලා ආවහම ඒවායින් හමන්නේ එම වදන් ලියූ නිර්මාණකරුවන් ගේහදවතේ සුවඳමයි.ඒ හදවත් ගැහෙනා රාවයමයි. ළබන මාසේ අගදි සහෘද ඔබ සැමටම එයවිඳගත හැකිවන බව පවසන්නේ හදවත පිරී ඉතිරිලා යන සතුටින්. 

මං මේ අටුවා ටිකා ටිප්පනි සේරම ලිව්වේ මගේම ලෙයින් මසින් උපදින මගේ පළමු සාහිතදරුවාගේ උපත පිළිබඳ සුබ පණිවුඩය සහෘද ඔබ සැමට දැනුම් දෙන්නටයි. ඒ තමයි “මකුළුවෝමේ සීත කාලයයි” නමින් ලබන මස අගදී ඔබ අතට පත්වීමට නියමිත මගේ පළමු කවි සරණියේසම්ප්‍රාප්තිය.

කුඩා සංදියේ ඉඳලම කවියක් කතාවක් කුරුටු ගෑමේ යම් තරමක හැකියාවක් මට තියනවාකියලා හඳුනාගත්තේ අපට සිංහල බස ඉගැන්වූ මගේ ගුරු මෑණිවරුන්. අනුරාධපුරනිවත්තකචේතිය ප්‍රාථමික විදුහලේ අපට ඉගැන්වූ පියසීලි ගුරුමාතාව මං මුළින්ම සිහිපත්කරනවා. ඉන්පසු අනුරාධපුර ශාන්ත ජෝෂ්ෆ් විදුහලේදී අපට සිංහල ඉගැන්වූ සුනීතා පරණවිතානසහ සුජාතා රාජපක්ෂ යන ගුරුමෑණිවරුන්ද සිහිපත් කරන්නෙ එතුමියන්ගේ පාද නමස්කාරකරමින්. 

පාසල් අවදියේ මිතුරකු ගේ සමරු පොතකට හෝ පෙම්පතකට හෝ පමණක් සීමාවූ මගේ කවිලිවීම නැවත ඇරඹුනේ මුහුණු පොතට සම්බන්ධවීමත් සමඟම. ඒ මට මතක හැටියට 2011 වසරෙ. එයින් මා හැමවිටම පෙම්කරපු මගේ සාහිත්‍ය දිවියේ දෙවැනි උපත සිදු වූවා යැයිපැවසුවොත් මා නිවැරදියි.

මුහුණු පොතින් නැවත හමුවූ පේරාදෙණිය සරසවියේ මගේ බැචෙක් වෙච්චි තිලකසිරි ඒකනායකසොයුරා (තිලකේ) තමයි මට කවි පිටු ගැන කියලා දුන්නෙ. තිලකෙම තමයි මාව බ්ලොග්ලෝකයටත් හඳුන්වා දෙන්නෙ. ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි “සඳුන් සෙවණ” නමින් මගේ බ්ලොග්අඩවිය බිහිවෙන්නෙ. තිලකේ උඹට ස්තූතියි.

ඉන්පස්සෙ කවි පිටුවලන් මට බොහෝ නමගිය හා අතිදක්ෂ කවි කිවිඳියන් රාශියක්හඳුනාගන්නට ලැබෙනවා. ඒ අයගෙන් විශේෂයෙන්ම සමුද්‍රා ජයලත් සහ නෛයත්‍රී කපුරුසිංහසොයුරියන් ගෙන් මට සඳැස් කවිය ගැන නොදත් කරුණු රාශියක් ඉගෙන ගන්නට අවස්ථාව උදාවෙනවා. ඒ දෙදෙනාවම මං මේ අවස්ථාවෙ සිහිපත්කරන්නෙ හදපිරි සෙනෙහසින්. ඒ වගේමගුණවර්ධන රත්නායක , ධර්මසිරි වීරක්කොඩි, ඥානතිලක හේවාගමගේ වැනි ප්‍රවීණ කිවිවරසොයුරන්ද සිහිපත් කරන්නේ බැතියෙන්.

ඉන්පස්සෙ මගෙ කවි කියවපු මුහුණු පොතේ මිතුරු මිතුරියන් රාශියක් මට කවි පොතක් කරන්නයැයි දිරිමත් කළත් මට අද වෙනකල් ඒ සඳහා ඉවසගෙන ඉන්න සිද්ධ වුණා. එහෙම මාව දිරිමත්කළ අය රාශියක් ඉන්නවා. ඒ අය හැමෝටම ගොඩක් ස්තූතියි මට ලබාදුන් දිරියට.

විශේෂයෙන්ම පසුගියදා අපහැර ගිය නයනසේන වන්නිනායක,නයන අයියා මාව කවි පොතක්සඳහා හැමවිටම දිරිමත් කළා. අයියේ ඔබ සිටිනා තැනක ඉඳල සතුටින් මගේ දිහා බලාගෙනඇති. ඒ වගේම හැමවිටම මා දිරිමත් කරපු වෛද්‍ය ශ්‍යාම මුණසිංහ සොයුරා, ධම්මිකඑගොඩවත්ත සොයුරා, සුනිල් හෙට්ටිආරච්චිගේ සොයුරා, දේවිකා ජයසේකර සොයුරිය, මංජුලාමහානාම සොයුරිය වැනි සොයුරු සොයුරියන්ද මට මේ අවස්ථාවේ සිහිපත් වෙනවා. අද මංමෙතන නමින් නොකීවත් මට කවි පොතක් කරන්න කියමින් දිරිගැන්වූ බොහෝ සහෘද පිරිසක්ඉන්නවා. ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය පිළිගන්වන්නට කැමතියි. නමින් සඳහන්නෙකළාට ඒ අය අමනාප නොවන බව මං දන්නවා.

මගේ පරිවර්තන රස විඳි සුවහසක් පාඨක සහෘදයින්ද මගේ කවිසරණිය වැළඳ ගන්නා බව මටඉර හඳ වගේ විශ්වාසයි.

ඉඳින් සහෘදයිණී මෙම සංතෝෂයේ සටහන, උද්දාමයේ හද ගැහෙනා රාවය අවසන්කිරීමටමත්තෙන් මං මෙම කවි සරණිය පුද කළ මගේ ආදරණීය අම්මා සහ තාත්තාවද පාදනමස්කාරයෙන් යුතුව සිහිපත් කරන්නට කැමතියි. එමෙන්ම මගේ සාහිත වැඩ ඉවසා වදාරමින්මට සහය දෙන මගේ ආදරණීය බිරිඳ සහ මගේ දරුදෙදෙනාවද ආදරයෙන් සමරනවා. තවදමට නිරතුරුවම දිරිය දෙන මගේ පොඩි නංගී, ලොකු නංගී, මගේ දෙමස්සිනෝ ඇතුළු සියළුමනෑදෑ හිතමිත්‍රාදීනට මගේ ස්තූතිය පුදකරන්නේ සතුටින් ඔකඳ වෙලා.

අවසාන වශයෙන් සඳහන් කරන නමුත් මෙම සොහොයුරිය සහ සොහොයුරා නොවන්නට මගේමෙම සිහිනය සැබෑවක් නොවී සිහිනයක්ම වී තිබීමට ඉඩ තිබුණා. කවිපොත් ප්‍රකාශනය සඳහාබොහෝ පිරිස් එතරම් උනන්දු නොවන සහ කෝවිඩ් උවදුර වැනි මෙවන් අවාසනාවන්තඅවස්ථාවක මගේ ඉල්ලීම ඉවත නොදා මණරම් කවරයක් නිර්මාණයකර දෙමින් මගේකවිසරණිය ප්‍රකාශයට පත්කිරීම දෙවරක් නොසිතා එඩිතරව භාරගත් ත්‍රිමාණ ප්‍රකාශනආයතනයේ උත්පලා මධුවන්ති සොයුරියට සහ මහේෂ් ගුණරත්ත සොයුරාට මගේ හදපිරි භක්තිප්‍රණාමය පුදකරන්නේ ඒ නිසාමයි. 

ත්‍රිමාණ පිටුවෙන් සහ ඔවුන්ගේ වට්සැප් නොම්බරයෙන් මගේ කවිසරණිය පෙර ඇණවුම් කළහැකියි. 

ඉඳින් සහෘදයිණී, 2021 ඇසල මස අගදී ඔබ අතට පත්වන ” මකුළුවෝ  මේ සීත කාලයයි” ඉන්පසු අයිති ඔබටයි. එහි මගේ හදවත මං තවරලා තියනවා. එය කියවා බලා ඔබ දෙන ගුණදොස් දැනගැනීමට මම කැමතියි. ඉදිරියේදී තවත් නිර්මාණ සමඟින් ඔබ සැම හමුවන පැතුමින්මම සමුගන්නම්. ඔබ සැමටම සුවදායී සති අන්තයක් වේවා! ජය ශ්‍රී!

චන්දන ගුණසේකර

2021 පොසොන් මස 18 වෙනිදා වැහිබර උදෑසනක එංගලන්තයේ වොට්ෆඩ් පුරයේ සිට

  • June 4, 2021

අහිංසක ඔහු අපෙන් උදුරාගත් පාපතරයිනේ අසව්…!

ආලය මව් ගුණය හා පරිසර වැනුම

ගීයට කැටි කළා ප්‍රතිභාවෙන් උරුම

ජීවත් වුණේ මිය යායුතු බව දැනම

මේ ටික නොදැන මැරු බව අදහනු කොහොම

හතලිස් දෙවසරයි දිවියට ඉඩ ලැබුණේ

දෙගුණෙක වයසෙ වැඩ ඒ ටික දින කෙරුණේ

මිණි කිංකිණි හඬිනි දෙසවන් පණ පෙවුණේ

නල දත් පෙන්නවූ මදහස සිත රැඳුණේ 

අවි අත දැරූ බැලයිනි ඒ පාළු රැයේ

තෙපිහට අහිංසක මුව ඇයි නොපෙනි ගියේ

නැතිවද ලියූ ගී කිසිදා රැඳුනෙ ළයේ

කෙළෙසද මලක් පොඩිකෙරුවේ පවට දැයේ

සිටියා නම් ගෙවෙයි අද හැත්තෑ හතර

කවි ගී දහස් ගණනක් නොමවෙයි නතර

එනමුත් සිදුවෙනා නොමිනිස්කම් නිතර

නොදැකම ගිය එකත් යහපතකය මිතුර

ආදරණීය ප්‍රේම්(ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්) ඔබගේ ජන්ම දිනය වූ අද පමණක් නොව සැමදාමමම ඔබ සිහිපත් කරමි. මේ පුංචි කවිපද ඔබේ නාමයට උපහාරයක්ම වේවා!

චන්දන ගුණසේකර

2021 පොසොන් මස 3 වෙනිදා

  • May 20, 2021

මිහි මවගේ දියණියය ඈ….

මා මීට සිව් වසරකට පෙර ලියූ සටහනක්…

ඇය සියල්ල අත හැරියාය. වෙසෙසින්ම කාන්තාවන් ඉතාමත්ම ප්‍රිය කරන කණකර ආභාරණ ඇය පසෙකට දැමුවේ අලුයම ඉවත හෙළූ කෙළ පිඩක් සේය. එමෙන්ම කාන්තාවන්ගේ පංච කල්‍යානයෙන් වැදගත්ම අංගයක්වූද ඇයගේ අන්‍යතාවයේ කැටපතක් බඳුවූද ඇගේ දිඟු වරලසද ඇය කපා දැමුවාය. වයිවාරන විලාසිතා, ඇඳුම් පැළඳුම් හා රූපලාවණ්‍ය කළමනා පසෙකලූ ඇය ඉතාමත්ම චාම්වූ සැහැල්ලු හා සරල දිවිපෙවෙතකට අවතීර්ණ වූවාය. ආගම දහමට නැඹුරුවූවාය. මේ වර්තමානයේ ඇයයි.

අප සැමටම මෙන් ඇයටද අතීතයක් තිබිණි. එය එසේ මෙසේ අතීතයක් නොවීය. 1987 වසරේ එක්තරා දිනෙක ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර සිනමා උළෙල පැවති විසල් ශාලාව හෙල්ලුම්කන තරමට අත්පොළසන් නාදයක් නැගුණේ ඇය වෙනුවෙනි. එදා ලොව හොඳම නිළිය ලෙස අභිෂේක ලැබූ ඇය අද එම සම්මානය පවා සලකන්නේ ඉතාමත්ම පහසුවෙන් අතහැරිය හැකි නොවටිනා තවත් එක භෞතික වස්තුවක් විලසිනි.

එදා , ඩී බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ , ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ නවකතාවක් ඇසුරින් නිමවූ ” මල්දෙණියේ සිමියොං” චිත්‍රපටයේ රඟපෑ ද්විත්ව චරිතය වෙනුවෙන් ලොව හොඳම නිළිය වූ ඈ අනෝජා වීරසිංහ මහත්මියයි.

අනෝජා කාන්තී සිරිවර්ධන, ඒ ඇයට දෙමාපියන් තැබූ නමයි. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක මෙලොව එළිය දුටු ඇය දිනෙක ලොව හොඳම නිළිය වේයැයි ඇයගේ දෙමාපියන් පවා ඇයවත් සිහිනයෙන් හෝ නොසිතන්නට ඇත. දේශපාලනය නම්වූ කුරිරු හස්තය නිසා රැකියාව අහිමිවූ ඇයගේ පියාට බදුල්ලෙන් මොණරාගලට සංක්‍රමණය වීමට සිදුවූයේ ඇය ඇතුළු 12 දෙනෙකු වූ ඇයගේ පවුල, දරිද්‍රතාවයේ පතුලටම ඇද දමමිනි. ඇය බොහෝ දුක් වින්ඳාය. එහෙත් ඇය ඒ දුක පරදා රඟපෑමේ හිනිපෙත්තටම නැග්ගාය. ඒකටුක අතීතය පරයා නැගුණු මේ ඒ සුන්දර අතීතයයි. ඇයට දැන් නොවටිනමුත් සිනමා පිස්සන්වූ අපට නම් සිත සිතා සතුටුවිය හැකි ඇයගේ සාර්ථක සිනමා දිවිය වූ ඒ අතීතය ගැන පසුවට කතා කිරීමට තබා වර්තමානයට ඔබ රැගෙන යාමට මට අවසර දෙන්න.

1989 වසරේදී එංගලන්තයේ London Academy of Music and Dramatic Arts ආයතනයට අනුයුක්ත වී වසරක පාඨමාලාවක් හැඳෑරීමට ඇය ලැබූ භාග්‍ය , මෙතෙක් ඇය ආ ගමන් මඟ උඩු යටිකුරු කිරීමට සමත්විය. ඇය එංගලන්තයට යාමට සුදුසුකම් ලැබුවේ ඊට ඉල්ලුම් කළ 3600 ක පිරිසකින් තෝරාගත් 36 දෙනාගෙන් එකෙකු වශයෙනි. ලංඩනයේ වසරක් ගතකොට එම පාඨමාලාව හදාරා ආපසු මව්බිමට පැමිණියේ අමුතුම අනෝජා කෙනෙකි. ඇය බොහෝ පරිණත වී සිටියාය. එහිදී හොඳින් උගත් යෝගී භාවනාවන් ඇයව අධ්‍යාත්මිකව ඉතාමත්ම දියුණු හා නිවුණු මනසක් ඇත්තියක බවට පත්කොට තිබිණි.

එදා ,එනම් මීට වසර 27 කට පෙර ආපිට මව්බිම වෙත පැමිණි අනෝජාගේ සිහියට ආවේ අමුතුම සිතිවිල්ලකි. ඒකාලය වනවිට රූපයෙන්, හැකියාවෙන් හා කීර්තියෙන් අගතැන්පත්ව වුන් ඇයවන් කාන්තාවක් සිහිනයෙන් හෝ ගන්නා අන්දමේ තීරණයක් නොවූ එය, වහාම ඇරඹීමට ඇය උත්සුක වූවාය.

ඇයගේ සිහිනය වූයේ ඇය උගත් දෙයින් හා ඇයගේ හැකියාවෙන් තම මව්බිමට සේවයක් කොට රටට ණය නැති දුවක ලෙස දිනෙක සතුටින් මිය යාමයි. එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝ මහත්තයා( ජෝ අබේවික්‍රම), ගාමිණි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවආරච්චි වැනි මෙකී නොකී , ජාත්‍යන්තර තලයේ තැබිය හැකි චරිතාංග රංගන ශිල්පීන් බිහිවූවත් ඒ කිසිම ආයතනයකින් හෝ ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන නොවීය. ඔවුන්ගේ ලේ, ඇට, මස් හා නහරවල සැඟවී තිබූ ජනමයෙන්ම ගෙනා හැකියාවෙනි. ප්‍රතිභාවෙනි. එලෙසින්ම අනෝජාද ලොව හොඳම නිළිය වූ මල්දෙණියේ සිමියොං සිනමා පටයේ රඟද්දී ඇයටද තිබුණේ උපතින්ම ගෙනා හැකියාව සහ ඩී බී නිහාල්සිංහ නම්වූ ඒ අති විශිෂ්ට සිනමාවේදියාගේ මඟ පෙන්වීම විනා උගත් ශාස්ත්‍රයක් නොවේ. මේ අඩුව පියවා සිංහල සිනමාව ඉතා උසස් තැනකට ගෙනඒම ඇගේ සිහිනය වූයේ එහෙයිනි. තමන් උගත් දෙය රංගනයට හා ගායනයට එක්වන යොවුන් පරපුර වෙත ප්‍රදානය කිරීම ඇගේ අරමුණ විය. ඒ සඳහා තමන්ගේම ශක්තියෙන් ගොඩනැඟිල්ලක් සදා ගැනීමට සුඳුසු ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට පැවති හැම රජයකින්ම ඇය ඉල්ලා සිටියාය. අරගල කළාය. එහෙත් ඒ සියල්ලම බීරි අලීන්ට වීණා වැයුමක්ම වුවද එයින් ඇයගේ පන්නරය තව තව මුවහත් වුණි. ශක්තිමත් වුණි. ඔප වැටුණි.

මේ කාලයේදී රටේ පැවති තත්වයද එතරම් යහපත් වූයේ නැත. උතුරේ හා නැගෙනහිර යුද ගිනි බුර බුරා ඇවිලිණි. යුද්ධයෙන් මිය යන හා අනාථවන පිරිස් දිනෙන් දිනම ඉහළ ගියේ ජීවත්වන්නන්ගේ මානසික ආතතිය හා බිය අහස උසට ගෙන යමිනි. මානසික රෝහල් හා පුනරුත්ථාපන කඳවුරැ පිරී ඉතිරී ගියේ මේ වකවානුවේය. අපගේ කතා නායිකාව , අනෝජා වීරසිංහ මහත්මිය මේ අවස්ථාවේ ස්වේච්ඡාවෙන්ම පෙරමුණ ගත්තාය. රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව ඇය මනෝ වෛද්‍යවරුනට තමන්ගේ උපරිම සහය දුන්නාය. මානසිකව අන්ත අසරණ අඩියට වැටී වුන් කාන්තාවනට, හමුදාවේ හා LTTE සංවිධානයේ වුවද අපේම රටේ දරුවන්ට ඇයගේ සහන හස්තයේ පහස ලැබිණි. මේ අතර 2004 වසරේදී රට තව තවත් ආගාධයටම හෙළමින් සුනාමි ව්‍යවශනයටද ලංකාව බිලී වූයේ අපේම කරුමයටය. එහිදීද ඇය අනාථවූ පිරිස්වල මානසික සුවය සැලසීමට ඔවුන් රැඳීවුන් අනාථ කඳවුරුවලට ගියේ දෙව්ලොවින් ආ සුරදූතියක් විලසිනි.

මෙසේ කාලය සෙමින් ගෙවී ගියේ කාටත් හොරාය. රංගනය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩනැගීම, තවදුරටත් සිහිනයක්ම වුවත් ඇය එම සිහිනයෙම එල්බ සිටියයා. මේ අතර ඒ දිනවල රූපවාහිනී නාලිනාවල ඉතා ජනප්‍රිය වූ සිහින තරු තේරීමේ වැඩසටහන්වල එම තේරීපත්වන දරුවන්ට හඬ නිසියාකාරව හැසිරවීම( voice training ) හා ඉදිරිපත්කිරීමේ කලාව (performing Arts) වැනි ක්‍රියාකාරකම් ඇය ලබා දුන්නාය.

මේ අතර පැවති රජයන් සියල්ලම ඇය වෙත ගොලුවත පාද්දී, ඇය මේ කරන්නට යන පරම්පරා ගණනකට සේවය සලසන කාලීන ව්‍යායාමය ගැන පැහැදුණු බෙල්ලන්විල විහාරාධිපති ස්වාමීන්වහන්සේ , විහාරභූමියට අයත් ඉඩම් කැබැල්ලක් ඇයගේ ” අභින” නමින්වූ රංගනය,ගායනය හා යෝගී අභ්‍යාස පුහුණු කිරීමේ ආයතනය ගොඩනැගීම සඳහා ලබා දීමට ඉදිරිපත්වූ සේක. උන්වහන්සේලාට පිංසිදුවන්නට, ඇය ඉතිරිකර ගත් මුදල් හා ජපානයේ වෙසෙන ඇයගේ මිතුරියක එවූ මුදලින් ඇය එම ගොඩනැඟිල්ල ඉඳි කළාය. එදා එනම් මීට වසර 27 කට පෙර ඇයගේ සිතට ආ එම සුන්දර සිහිනය හෙට එනම් දෙදහස් දාහත වසරේ මැයි 21 වනදින සැබෑවන්නට නියමිතය.

මේ කරුණු ඇය ගෙනහැරපෑවේ පසුගියදා ඇය සහභාගීවූ ජාතික රූපවාහිනියේ නුඟසෙවණ වැඩසටහනේදීය. එහිදී ඇය තවත් බොහෝ දෙනෙකු නොකරන අභීත ක්‍රියාවක්ද කළාය. එනම් ඇයගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමයි. මම ඊට පහුවෙනිදාම ඇයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවරක් නාද විය. අනෙක් කෙළවරින් ඇසුණේ සවනේ රැඳී තිබූ සුපුරුදු කට හඬයි. මට එකවරම සිහියට ආවේ කෙලිමඩල චිත්‍රපටයේ රංජනීය. සිරිමැඳුරේ ලීලාය.සෙයිලමේ සිසිලියා. ගුරුගෙදර විශාඛාය. මල්දෙණියෙ සිමියොංහී සෝමාය. එහෙත් එතන ඒ කවුරුන්වත් හෝ නොසිටියහ. අඩුමතරමින් අනෝජා වීරසිංහ නම්වූ එදා අපි දුටු ඒ අග්‍රගණ්‍ය සම්මානනීය නිළියවත් නොසිටියාය. එතන සිටියේ මහා නිවීමක් ලැබූ තැනැත්තියකි. අත්හැරීම ප්‍රගුණකළ අධ්‍යාත්මික දියුණුවක් ලැබූ තැනැත්තියකි.

එදා , 1987 නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම නිළිය වූ ඈ, 1986 වසරේ මල්දෙණියෙ සිමියොං හා 1993 වසරේ ගුරුගෙදර සඳහා හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද ඈ, 1987 වසරේ මල්දෙණියෙ සිමියොං, 1990 වසරේ සිරිමැඳුර, 1992 වසරේ කෙලිමඩල හා 1994 වසරේ සුරබිදෙන යන සිනමාපට වල කළ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම්ලද ඈ හෝ 1994 වසරේ කලාශූරී සම්මානයෙන් පිදුම් ලද ඈ එතන නොසිටියාය.

මගේ සිත මොහොතකට 1989 වසරේ මා නැරඹූ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැඳුර චිත්‍රපටයේ අවසාන ජවනිකාව වෙත දිව ගොස් නැවතිණි. මුළු සිනමා ශාලාවම මීයකට පිම්බාක්මෙන් නිශ්ශබ්දය. මගේ යාබද අසුනේ සිටින නරඹන්නාගේ හදවත ගැහෙනා රාවය පවා මට ඇසිණි. සිනමා ශාලාව දෙවනත් කරමින් ඇසුණේ වෙඩි හඬවල් දෙකකි. ඉන්පසු නැවතත් ඒ මූසල නිහැඬියාවය. එකෙණෙහිම තිරය පුරා දිස්වූයේ අසරණව , මරණ බියෙන් නිවසින් එළියට පැන ඉදිරියට දිව එන ලීලාය. තමන්ට හිමිව තිබූ ඒ ආදරය හා එයින් උපන්‍ රාගය තමන්ගෙන් උදුරාගන්නට ආ තැනැත්තියව සහ තමන්ට අහිමිවීයන තම පෙම්වතාව ඒ නූගත් කෙල්ල වෙඩි තබා මරා දමා තිබුණාය.

දුරකථනයෙන් ඇදී ආ එතුමියගේ හඬින් නැවතත් මම පියවි ලොවට ඇද වැටුණෙමි. එදා හැත්තෑව දශකයේ අගභාගයේ සිට අනූව දශකය අග භාගය දක්වා චිත්‍රපට 90කට වැඩි වාණිජ හා සම්භාව්‍ය චිත්‍රපටවල රාශියක රඟපෑ ඇයගේ භූමිකාව සිහිනයක සිරවෙද්දී අද පොළොවෙ පයගසා ජීවත්වන ඒ සුන්දර දිරිය කත සමඟ මම දොඩමළුවිමි. ඇය 21 වෙනිදා අරඹන අභින ගැන ඉතාමත්ම සතුටින් හා තෘප්තියෙන් යුක්තව කතා කළාය. ඇයගේ හඬෙහිවූයේ ඉතාමත්ම දුක්විඳ ලබාගත් විජයග්‍රහනයක තේමාවය.
ඇය එම මාවතේ හෙට දින උපදින තවත් දහසක් මල් කැකුළු පුබුදුවමින් ගමන් කරනු ඇත. මම තවත් ඇයගේ වටිනා කාලය කා නොදමා ඇයට සමු දුනිමි. එදා කුඩා කාලයේ අනුරාධපුර කාටු විජේන්ද්‍රා සිනමා ශාලාව අබියස තිබූ කුණු ගොඩින් අහුලාගත් සිනමාපට දල සේයාපට කැබලි ඉදිරියෙන් තාත්තාගේ විදුලි පන්දම අල්ලා අඳුරු කළ කාමරයක බිත්තියක් මත ගෙදර අයට බයිස්කෝප් පෙන්නූ මට, සිනමාපටයක් නරඹා ගෙදරවිත් ගුවන්‍ විදුලියේ ප්‍රචාරයවන සිනමා වෙළඳ දැන්වීම් වලට සවන් දී සිනමාපටයේ දෙබස් කට පාඩම් කළ මට සහ එතැනින් නතර නොවී සිනමා ශාලා සහ ඒවා පිහිටි නඟර ගිරවකුසේ වැමෑරූ මට , මා ආදරය කළ නිළියකට කතා කිරීමට ලැබීමේ සතුට කෙතරම්ද යන්න මා මෙන්ම සිනමාවට පෙම් බැඳි හා එහි ජීවත්වූ සහෘද ඔබ සැමට අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නැතිබව මම දනිමි. අවසාන වශයෙන් ඇයට සුබ පැතූ මට ඇයගේ අභින ආයතනයේ ඊමේල් ලිපිනය දීමටද ඇය අමතක නොකළාය. ඔබටත් අවැසි නම් එතුමියට සුබ පැතුමක් එක් කරීම සඳහා එය මෙහි පළ කරමින් මම නවතිමි. දයාබර අනෝජා වීරසිංහ මහත්මියනී ඔබගේ සියලුම ඉදිරි කටයුතු ඔබ සිතූ පැතූ අයුරින්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය නිරතුරුවම ලැබේවා!

abina@sltnet.lk එතුමියගේ ඊමේල් ලිපිනයයි.

චන්දන ගුණසේකර