සිනමා අඹරේ මැකී ගිය රිදී ” රේඛාව”…

  • May 1, 2021

අදට තෙවසරකට පෙර දැයෙන් සමුගත් ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පිළිබඳව එදා මා තැබූ සටහන එතුමන්ට උපහාරයක් විළස නැවත පළකරමි.

මගේ මතකයෙ හැටියට ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහසේ ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත ” අඩසඳ යාය” පමණක් ඉතිරි කොට සියලු දිය බිඳක්ම අහසට ඇද ගත්තේ ඉතාමත්ම ප්‍රචණ්ඩව , හිත්පිත් නැත්තකු විලසිනි.

මිනිසුන්ගේ සිරුරුවල රුධිරයද කෝප වී තිබූ ඒ කාලයේ රටේ නීතිය වල් වැදී අවනීතියම රජ කරමින් පැවතියේය. දිනෙක රජයේ ඇඳිරි නීතිය නිසා මිනිසුන් නිවෙස් වලට ගාල්වූ අතර තවත් දිනෙක අවි ගත් කොල්ලන්ගේ කැලෑ නීතියට යටත්ව මිනිසුන් නිවෙස්වලට සිර වූහ.

ඔළුව වසා ගත් බිල්ලකුගේ හිස සෙලවීමක් වෙඩි පාරක රස විඳ මහ මඟ මැරී වැටෙන්නටත් ” ගම් පෙරළිය” වැනි පොතක් ළඟ තබා ගැනීම ටයර් සෑයක පණපිටින් දැවී යාමටත් සුදුසුකමක් වූ ඒ රාක්ෂයාගේ අවනීතිය රජවූ යුඟයේ මිනිස්කමට හෝ මරණයට වටිනාකමක් තිබුණේම නැත.

නිවෙස්වල ගාල් වූ මරණ භයින් පීඩිත මිනිසුන්ට කළ හැකි දෙයක් නොවුණි. රජයේ රූපවාහිනියට ඔරවාගෙන සිටිනු හැර කරන්නට දෙයක් හෝ එළියට යන්නට නිදහසක් හෝ තිබුණේ නැත. එයට විසඳුමක් ලෙස රජය කළේ අපූරු වැඩකි. එනම් මහ දහවලේ රූපවාහිනියේ සිනමාපට විකාශනය කිරීමයි. එසේ ඕනවට එපාවට බලා සිටි සිනමාපට අතර දිනෙක මා අමුතුම ලොවකට ගෙන ගිය සිනමා පටයක් අහම්බෙන් මගේ නෙත ගැටිණි. එය ” දෑස නිසා” නම්වූ අතර එහි අග්‍රගණ්‍ය නළු ජෝ අබේවික්‍රමයන් මා අමුතුම ලොවකට රැගෙන යාමට සමත් විය. දෑස් කඳුළින් පිරිණි. හදවත දැවී උඟුරේ යමක් සිරවූවාක් මෙන් මට දැනිණි. සිනමා පටයේ කතාව එතරම්ම සංවේදී විය. තාත්වික විය.

මා මීට බොහෝ කලකට පෙර දුටු මගේ දිව්යේ නැරඹූ ප්‍රථම සිනමා පටය වූ ” මාතලන්” වැනි ඉන්දියානු ආරට තැනූ චිත්‍රපට වලට වඩා ” දෑස නිසා” හි තිබුණේ අපේ කමකි. ලාංකික අනන්‍ය්තාවයකි.

” දෑස නිසා ” නරඹා උත්තේජනය වූ මම එහි තොරතුරු සොයා වෙහෙසුනෙමි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ මහා සිනමාවේදියාය. එදා සිංහල සිනමාවේ දෑවැන්ත තිරයට තනා තිබූ එහි රූප රාමු අඟල් 12 පුංචි තිරයට කෙලෙසවත් ගැළපුණේ නැත. එහෙත් ඊට පෙර මා කුඩා කළ සිනමා ශාලාවකට ගොස් නැරඹූ ” මඩොල්දූව” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයාද එතුමාම බැව් මා එය නරඹද්දී එතරම් තේරුමක් නොතිබුණද ” දෑස නිසා” ගැන සොයද්දී ඒ බැව් දැන ගතිමි.

එතුමා 1955 දී තැනූ , එතුමන්ගේ මුල්ම සිනමා නිර්මානය ” රේඛාව” ද මට නරඹන්නට ලැබුණෙ පුංචි තිරයෙනි. ඒ සමයේ නිපදවූ ගතානුගතික වට්ටෝරු ඉන්දියානු කොපි සිනමා කෘතිවලට කනේ පහරක් එල්ල කළ ” රේඛාව” අපට අපේම කියා සිනමා මඟක් ඇතිබව ලෝකයට පෙන්වා දීමට සමත් විය. මහ සිනමාකරු වංගදේශයේ සත්‍යජිත් රායි මෙන් ලෙස්ටර් සූරීන් තම සිනමාවෙන් අපේ ගැමි ජීවිතයට, සංස්කෘතියට හා අපේ කමට ආමන්ත්‍රණය කළේය. ” රේඛාව” සිනමාපටයට අපේ දිවියම වූයේ එහෙයිනි. එමෙන්ම එහි ගීත රචනා කළ ගරු මර්සිලින් ජයකොඩි පියතුමන්ගේ ශූර ගීපද රචනා එයට පැලඳවූ මුතු පොටක්ම විය. ඒ ගීත අදටත් දනන් තුඬ තුඬ රැව්දෙන්නේ එහෙයිනි.

එපමණක්ද ලෙස්ටර් මහත්තයා තැනූ ” ගම්පෙරළිය” එදා මාටින් වික්‍රමසිංහයන් අපේ සිත්වල කෙටූ චරිත ජීවමාන කිරීමක් විය. එතැන්නි නොනැවතුනූ ලෙස්ටර් සුරීන්, සත්‍යජිත් රායි තුමන් ” අපූ ත්‍රිත්වය” සිනමාවට නැඟුවාක් මෙන් මාටින් වික්‍රමසිංහයන්ගේ ඒ තුන් ඈඳුතු නවකතාව ” ගම්පෙරළිය”, ” කලියුගය” හා ” යුගාන්තය” සිංහල සිනමාවේ දිඟ හැරීය.

ජී. බී. සේනාණායකයන්ගේ “පළිගැනීම ” නම්වූ කෙටි කතා සංග්‍රහයේ තිබූ පිටු දෙක තුනක පුංචි කතාවක් වූ “නිධානය” කෙටි කතාව ඇසුරින් තැණූ ” නිධානය” සිනමාපටය ලෝක මට්ටමේ තැබිය හැකි ලෝක පූජිත සිනමා කෘතියක් නොවේ යැයි පැවසිය හැක්කේ කාහටද? එහි තිස්ස අබේසේකරයන් විසින් ලියූ අති විශිෂ්ට තිර රචනය මේ ප්‍රාතිහාරයේ රහස වූවත් අධ්‍යක්ෂකයාගේ ශූරකමත් ප්‍රතිභාවත් නොමැති වූවානම් එය තිරයට ප්‍රක්ෂේපණය වන්නේ නැත. ලෙස්ටර් නම්වූ මහා හිරුගෙන් බැබළුණු තවත් තරුවක් බවට පත්වූ තිස්ස අබේසේකරයන් පසු කලෙක තවත් ඉරක්ම වූයේ ඒ විසල් සූර්‍යයාගේම ආභාසයෙනි.

එපමණක්ද එතුමා තිරයට ගෙනා ලෙනාඩ් වුල්ෆ්ගේ ” බැද්දේගම ” අපට අමතක කළ හැකිද? එහි ජෝ අබේවික්‍රමයන්, හෙන්රි ජයසේනයන්, විජය, මාලිනී හා නදීකාගේ රංගනයන් කෙසේනම් අමතක කරන්නද? මෙහි “බබුං” ගේ චරිතයට විජයව තෝරා ගැනීම එතරම්ම හොඳ තේරීමක් නොවූවත් විවේචනයට බඳුන් වූවත් ජෝ අබේවික්‍රමයන්ගේ අතිවිශිෂ්ට රංග ප්‍රතිභා ආලෝකය හමුවේ එම කරුණ කඳෝපැණි තත්වයට පත්වූ බව මගේ හැඟීමයි.

එහෙත් සහෘදයිනී, ලංකීය සිනමාවේ ගමන් මඟ වෙනස් කළ , එයට අපේ කම කාන්දු කළ , අමරණීය නිර්මාණ රාශියක් දැයට දායාද කළ හා බෙහෝ සිනමාකරුවන් රාශියකට සිනමා ගමන් මඟ සාදා දුන් ඒ අමරණීය යුඟ පුරුෂයා අද නිසොල්මනේ සන්සන්ව අවසන් නින්දේ පසුවන්නේ යැයි සිතන්නට කෙසේ නම් සිත හදා ගන්නදැයි මට නොතේරේ. මහා සන්සුන් නිහැඬියාවකට පසුව ආ චණ්ඩ කුණාටුවක් සේ එම ආරංචිය මට දැනගන්නට ලැබුණේ පසුගිය ඉරිදා, 29 වෙනිදා හැන්දෑ යාමයේය. රාස්සිගේ මූසල අව් රැල්ල උස් බිල්ඩින් පසු පසින් සැඟව ගිය ඒ ගොම්මං යාමයේය. හදවත කඩා වැටුණේ මටත් නොදැනීමය.

වසර 99 ක් වූ එතුමන්ගේ දිඟු දිවි ගමනේ 1949 සිට 2006 දක්වා සක්‍රීයව සිටියද 2006 න් පසු එතරම් පෙනෙන්නට හා දැනෙන්නට දායකත්වයක් සිනමාවට නොලැබුණු බව සත්‍යකි. 2006 වසරේ ” අම්මාවරුණේ” සිනමා පටයෙන් පසු සිනමාවෙන් විශ්‍රාම ගන්නා බව එතුමා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. එහෙත් මේ ඊයෙ පෙරේදා සිනමාහල් වල ප්‍රදර්ශනය ඇරඹූ ලෙස්ටර් මහත්තයාගේ ආදරණීය බිරිඳ අධ්‍යක්ෂණය කළ “වෛෂ්නාවී” සිනමාපටයේ නම පවා තබා තිබුණේ ලෙස්ටර් මහත්තයාම බව ඔබ දන්නවාද?

එතුමන් වියෝවූ අද දින මහා සිනමාවේදීන්, නළු නිළියන්, සිනමා විචාරකයන්, ලේඛකයන් හා කවියන් එතුමන් ගැන මහා විදග්ධ සටහන් හා කවි ලියන බව මම දනිමි. එහෙත් සිනමාව ගැන මහා දැනුමක් නැති, එයට සම්බන්ධ නැති හා සිනමා විචාරකයකු හෝ ලේඛකයකුද නොවන මට, ඒ සුදුසුකම් නැතත් ,සිනමාවට බොහෝ ආදරය කරන, පුංචි කාලයේ තාත්තා මධුවිතින් මත්ව සිටින වෙලාවක් බලා මුදල් ඉල්වාගෙන සිනමාහල් වලට එන සෑම චිත්‍රපටයක්ම නැරඹූ චිත්‍රපට පිස්සකු ලෙස හා එකල සිනමා ශාලාව ඉදිරිපිට ඇති කුණු ගොඩින් අහුලාගත් සිනමා පටයක සෙලියුලයිට් කෑල්ලක් පෙට්ටියක් අස්සෙන් යවා ඊට පිටුපසින් ටෝච් බල්බයක් දල්වා අඳුරු කාමරයේ බිත්තියක් මත පවුලේ අයට චිත්‍රපට පෙන්වූ පුංචි කොල්ලකු වූ මට විසල් අයිතියක් ඇත. ඒ අයිතිය හා අපේකම මගේ මෙම සටහන ලිවීමේ ” සුදුසුකම” බව මම විශ්වාස කරමි.

එංගලන්තයට ගොස් එහිදී හමු වූ තවත් ලාංකික මිතුරකු සමඟ නිපදවූ ඉංගිරිසි කෙටි චිත්‍රපටයකින් ඇරඹි ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ මේ දිඟු ගමන් මඟ මහා දිඟ පුස්තකයක් වැන්න. 1949 දී නිපදවූ එය මිනිත්තු 12 ක් දිඟු ” Soliloquy” නම් විය. ඉන්පසු 1950 දී ” A Sinhalese Dance(08min)” හා ” Farewell to Childhood(14min)” , 1954 දී” Conquest in the dry Zone( 14 min)” හා 1955 දී ” Be Safe or Be Sorry( 16min)” යන කෙටි චිත්‍රපට නිර්මාණය කළ අතර ඒවායින් සම්මානයටද පාත්‍ර විය.

ඉන් පසු ලංකාවට පැමිණ එතුමා නිර්මාණය කළ “රේඛාව” , සිංහල සිනමාවේ එතෙක් ආ ගමන් මඟ උඩු යටිකුරු කළ අතර එහි හැරවුම් ලක්ෂයද වූයේය. එදා මෙදා තුර 2006 වසර දක්වා එතුමා රටට දායාද කළ සිනමාපට සංක්‍යාව විස්සකි. නිර්මාණය කළ සිනමා සංස්කෘතියට ගණන් මිනුම් නැත.

මා ඉහත දැක්වූ විශ්ෂ්ට සිනමාපටවලට අමතරව එතුමා කරුනාසෙන ජයලත් සූරීන්ගේ ” ගොළුහදවත” නවකතාව ඇසුරින් තැනූ ” ගොළුහදවත” සිනමා කෘතිය ලංකීය යොවුන් හදවත් තුළ ප්‍රේමනීය සංකෘතියක් බිහි කිරීමට සමත් විය. තරුනන් පැරදුණු ආදරය හමුවේ මත්පැනට ඇබ්බැහිවී ” සුගත්” මෙන් දිවිය අවුල් කර ගැනීමේ ආදිනව සිනමා පටයෙන් උගත්හ. එපමණක්ද ” දෙලොවක් අතර”, රන් සළු”, ” අක්කර පහ”, ” අහසින් පොළොවට” හා ” අවරගිරි” වැනි සිනමා කෘති ලෝක සිනමාව හා කරින්කර මට්ටමේ තැබිය හැකි සිනමා කෘති විය. එතුමා නිර්මාණය කළ “මඩොල්දූව” හා ” පිංහාමි” යන ළමා චිත්‍රපට වලින් අපගේ ළමා ලෝකය ඒකාලෝක වුණි. එතුමා 1979 දී තැනූ ” වීරපුරන් අප්පු” චිත්‍රපටය ජනතාවගේ ජාතික හැඟුම් පුබුදුවාලීමට සමත් වූයේ එහි තිබූ විශ්ෂ්ඨත්වය නිසාමය.

ලාංකීය සංගීතයේ අමරදේවයන් යම්සේද, සාහිත්‍යයේ මාටින් වික්‍රමසිංහයන් යම්සේද, නාට්‍ය කලාවේ මහාචාර්‍ය සරච්චන්ද්‍රයන් යම්සේද සිනමාවේ මෙතෙක් පහළ වූ මහා යුඟ පුරුෂයා ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ම වන්නේය. එහි කිසිදු විවාදයක් නැත.

එතුමන්ගේ මෙම ප්‍රතිභාවට සහ හැකියාවට බෙහෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි. එතුමා තැනූ ” රේඛාව, ” ගම් පෙරළිය”, ” දෙලොවක් අතර” හා ” ගොළු හදවත” යන සිනමාපට වලට හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයද, “අහසින් පොළොවට” හා ” යුගාන්තයට” හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයද හිමි වූ අතර ” ගම්පෙරළිය” මොස්කව් සිනමා උළෙලටද, ” නිධානය” ලංඩන් සිනමා උළෙලටද, “පිංහාමි” මොස්කව් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලටද, ” බැද්දේගම” හා ” කලියුගය” ඛාන් චිත්‍රපට උළෙලටද හා ” යුගාන්තය” මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලටද ඉදිරිපත් වූ අතර එහිදී ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසාදයට පත්වූ අතර සම්මානයටද පාත්‍ර විය.

ලංකාව තුළ ලාංකික සිවිල් පුරවැසියකුට ලැබිය හැකි උසස්ම නම්බු නාමය වූ “ශ්‍රී ලංකාභිමාන්‍ය ” නාමයෙන්ද 2007 වසරේදී පිදුම් ලද ලෙස්ටර් සූරීන් වෙනුවෙන් 2002 වසරේදී එතුමන් නමින් සමරු මුද්දරයක්ද නිකුත් වූයේ ශ්‍රී ලාංකිය සිනමාවට කළ අමිල සේවයටත් අපගේ සිනමාව ජාත්‍යන්තරයටත් ගෙනයාමේ උතුම් කාර්‍යටත් කෘතගුණ දැක්වීමක් වශයෙනි.

මිය යාමට දින කිහිපයකට පෙර එතුමන්ම නම තැබූ ” වෛෂාණාවී” චිත්‍රපටය තිරගතවන බව ඇසීමටත් එතුමන්ගේ 99 වැනි ජන්ම සංවත්සරය සැමරීමටත් තරම් එතුමා වාසනාවන්ත විය.

මෙසේ විසල් ගස් එකින් එක ඇද වැටෙද්දී හදවතට දැනෙන්නේ නම් විශාල කම්පනයකි. එහෙත් ඒ විසල් ගස් යට වැඩුණු යටි රෝපණය දැන් දැන් නව හිරු රැස් වැටී උඩට මතුවී එනු ඇත. ලෙස්ටර් මහත්තයලා දහඩිය මහන්සියෙන් තැනූ ගමන් මඟ ඔවුනට තෝතැන්නක් වනු ඇත. ඔවුන් නැසී ගියද කොහෝ සිට හෝ ඔවුන් විහිදුවන කිරණයේ ආලෝකය ඒ ගමන් මඟ එළිය කරන සහන් එළියක් වනු ඇත.

ඉඳින් ආදරණීය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණෙනි මට සමුගන්නට අවසර. ඔබ අද නැතිද ඔබගේ අමරණීය නිර්මාණ සහ ඔබ සෙවණේ වැඩුණු ඔබගේ ආදරණීය බිරිඳ ඇතුළු සුව හසක් සිනමාවේදීන් හා අංකුර කලාකරුවන් ඔබ නැවැත්වූ තැන සිට ඒ ගමන දිඟටම යනු ඇත. එය එසේම වුවහොත් එයටත් වඩා ඔබට කළ හැකි උපහාරයක් තවත් නම් තිබේද? ඔබගේ පැතුමද එයම වන්නට ඇත. ” රේඛාවෙන් ” ඇරඹී ” අම්මාවරැන්” ගෙන් අවසන් කළ ඔබගේ මහා සිනමා දිවි මඟත් 1919 ඉපිඳ 2018 දක්වා දිවූ ඔබගේ භෞතිත දිවිමඟත් මෙලෙසින් අවසන් වූවත් ඔබගේ නාමය සදා කල්හිම අමරණීය වනු ඇත. එසේනම් ඔබට සුවදායී නින්දක් සමඟ සුබ රාත්‍රියක් යැයි පතමින් මම නවතිමි.

චන්දන ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Please mark all required fields.