” අන්තිම දුම්රිය” කියෙව්වෙමි….

  • April 22, 2021

” නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය දැල්වෙන රත් දුඹුරක් බවට පත් විය. රතු ගිනිදළු අඳුරු අහසට පැන නැංගේය. හීන් සුළඟක් ගම්මානය දෙසට හමාගෙන ගියේය. භූමිතෙල් ගඳක් රැගෙන ගිය එය පිටුපසින් පිළිස්සෙන දැව ගඳක්ද විය. ඉක්බිති යන්තමට පාවුණේ මස් දැවෙන පුළුටු ගඳකි. මුළු ගමම අමු සොහොන් නිහැඬියාවක වැටුණි. කිසිවෙක් කිසිවෙකුගෙන් දුඟද කුමක්දැයි ඇසුවේ නැත. හැම දෙනාම එය කල් සිටම දැන සිටියහ. දුම්රිය පාකිස්තානයේ සිට පැමිණීම පිළිතුරට ඉඟියක් විය. 
එදා හවස මනෝ මජ්රා මතකයේ ප්‍රථම වතාවට දෙවියන් වහන්සේගේ බල මහිමය කියා පාන ඉමාම් බක්ස්ගේ ගම්භීර යාතිකා හඬ ගුවනට නැගුණේ නැත.” (පිටුව 122-123)
” මනෝ මජ්රාව” වනාහී ඉන්දියාව හා පාකිස්තාන දේශ සීමාවේ තිබූ සීක්, හින්දු හා මුස්ලිම් මිනිසුන් එකම පවුලේ සාමාජිකයන්සේ විසූ සාමකමී ගමක් විය. එහි පිහිටා තිබූ මනෝ මජ්රා දුම්රිය ස්ථානයත් ගම පසෙකින් ගලා ගිය ” සත්ලේජය” නම් වූ ගංඟාවත් ඊට උඩින් වූ දුම්රිය පාලමත් ගම් වැසියන්ගේ දිවිය හා බද්ධව තිබුණේ ගසට පොත්ත මෙනි. 
ඔවුන් අවඳි වූයේ දුම්රිය හූ හඬිනි. දිවා කල දෛනික වැඩ කටයුතු කළේ දුම්රිය පාලම උඩින් යන හඬටය. කොටින්ම දරුවන්ට රාත්‍රී කෑම දී නින්දට දැමූවෙත් දිනය අවසන තම තමුන් නින්දට ගියෙත් අවසාන දුම්රියේ හඬත් සමඟය. 
1947 සුදු අධිරාජ්‍යවාදීන් නිදහසත් සමඟම ඇවිලී ගිය ජාතිවාදී ගිනිදළුවලින් දැවී අලුවී ගිය මනෝ මජ්රාව ගම්මානය පාදක කොටගෙන පනහ දශකයේදී සුප්‍රකට ඉන්දියානු ලේඛක ඛුෂ්වන්ත් සිං විසින් ලියන ලද සම්මානනීය නවකතාවක් වූ Train to Pakistan” කෘතියෙහි,  නම් ගම් වෙනස් කළහොත් නිදහස ලැබීමෙන් පසු අපේ මව් බිමේද මෙතෙක් කල් සිදුවූ ඊනියා ජාතිවාදී කෝලාහලයන්ට ගෝචර වන කැටපතක් වන්නේය. එහෙයින් මෙය කියවා කම්පනයට පත්වී යමක් සිතට ගැනීම දැන් දැන් අපේ රටේ සිදුවන දේ දෙස බැලීමේදී අදටත් ගැලපෙන කාලීන අවශ්‍යතාවයක් යැයි මට සිතේ. මන්ද මෙහි සිද්ධ වු දේම අපටද සිද්ධ වූ නිසාවෙනි. 


අපේ රටින් බිහිවූ කෘතහස්ත ලේඛකයකු වන කුලසේන ෆොන්සේකා සූරීහූ මෙහි පරිවර්තකයයා. ” අන්තිම දුම්රිය” නමින් පරිවර්තනය කළ මෙම පොත කියැවීමේදී එතුමන් කෙතරම් නම් ශූරව මේ කාරිය කර ඇතිදැයි ඔබට වැටහේවි. Strong Tea යන්න “ශක්තිමත් තේ ” වැනි වචනයෙන් වචනයට පෙරලා කෘති පළකරන කිසිදු කලාත්මකබවක් නැති කොපිකැට් පරිවර්තකයන්ගෙන් මෙතුමා වෙනස් වන්නේ එහෙයිනි. මම මෑතකදී කියවූ ” සෝබා නම් ග්‍රීකයා” පොතේ වඬිගමංගාව සූරීන්ගෙ ශූර පරිවර්තනයත් ” ආදර අංකුර” නමින් සමන් අතාවුදහෙට්ටි සහෘද කලාකරුවා ,” Origins of Love” කෘතිය පරිවර්තනයේදී පෑ වචන පෙළහරත්  මගේ සිහියට එයි. මේ මොහොතේ ” අරණකට පෙම්බැඳ” නව කතාව පරිවර්තනය කල චින්තා ලක්ෂ්මී සිංහආරච්චි ලේඛිකාවගේ අමිල පරිවර්තනයද අමතක නොවේ. ඒ ඒ කෘති ගැන වෙනම සටහනකින් ලිවීමට අදහස් කරමි.
එහෙයින් අප අද කතා කරන මේ ” අන්තිම දුම්රිය” කෘතිය,  නම් ගම් මඳකට අමතක කොට මනෝ මජ්රාවට ත්‍රිකුණාමලය, වව්නියාව හෝ මන්නාරම වැනි අපේ රටේ නඟරයක් ආදේශකර ගතහොත් සත්ලේජයට මහවැලි ගඟ හෝ මල්වතු ඔය යන්න යොදා ගතහොත් හා පුද්ගල නාම වලට සිරිපාල, තංගවේලු හෝ රහුමාන් වැනි අපේ රටේ නම් ටිකක් ආදේශ කරගතහොත් මෙය අපේම කතාවක් වන්නේ එවැනිදේම අපේ රටේද සිදුවූ නිසාම පමණක් නොව කුලසේන ෆොන්සේකා සූරීන්ගේ ශූර වචන හරඹයද නිසාය. 
දුම්රිය, දුම්රිය පොළ හා පාලම අපේ ගම්වල අපේ දිවියටද බද්ධ වී තිබුණේ මෙලෙසින්මය. එකල උදෑසන 5.05ට අනුරාධපුරයෙන් කොළඹ බලා පිටත්වූ රජරට රැජින දුම්රියේ හූ හඬට අප අවඳි වූ අන්දමත් රාත්‍රියේ දුම්රිය මල්වතු ඔය පාලමෙන් එන හඬ අසා දැන් නිදා ගැනීමට කාලය පැමිණ ඇතිබැව් සිතාගත් හැටිත් මට සිහිවන්නේ එහෙයිනි. පහත දැක්වෙන මෙම කෘතියෙන් මා ගත් උපුටනය මඳකට කියවන්න.
” මේ සියල්ල නිසා යන එන දුම්රිය ගැන විමසිල්ලෙන් සිටීමට මනෝ මජ්රාවේ වැසියෝ උත්සුක වූහ. හිරු උදාවන්නට පෙර ලහෝරය බලා යන තැපැල් දුම්රිය මනෝ මජ්රාව පසු කරන්නේ දැඩි කඩිනමකිනි. එය පාලමට ගොඩවනවාත් සමඟම රියදුරා තද නළා පාරවල් දෙකක් හඬවයි. එසැනින් මුළු මනෝ මජ්රාවම අවඳිවෙයි. කීකාර් ගස්වල ලැග සිටින කපුටෝ අඬන්නට පටන් ගනිති. දිගු නිහැඩියාවකින් ආපසු පියඹා එන වවුලෝ ඇසතු ගස්වල තිප්පොලවල් අල්ලා ගැනීමට පොරකති” ( පිටුව 13)
 මට මෙම පක්ෂීන්ගේ චරියාවන් කියවද්දී සිහියට නැගුණේ අප කුඩා කල අනුරාධපුර පොලීසිය පිහිටා තිබූ ඉඩමේ සහ ඊට ඉදිරියෙන් මහමඟ අනෙක් පස තිබූ කච්චේරි ඉඩමේ තිබූ පොල්ගස්වල එක පොල් කොළයක් නෑර එල්ලී වුන් දස දහස් ගණනින් වූ ගිරවුන්ගේ ඝෝෂාවය. උදේ පාන්දර පහමාරට හයටත් හැන්දෑවේ පහමාරට හයටත් ඇසුණු මේ සොබාදහමේ දායාදය අද ඒ ගස් කපා දමා තැනූ බිල්ඩින් දෙස බලාගෙ වාහනවල ඝෝෂාවට මැදිව සිහිපත් කරමි. 
” උදෑසන දුම්රියේ හූ හඬත් සමඟම පාන්දර යාච්ඤාවට දැන් වෙලාව බව මුස්ලිම් දේවස්ථානයේ මුල්ලා තේරුම් ගනී. ඔහු වහා මුහුණ කට සෝදයි. අනතුරුව බටහිර දෙසට හැරී මක්කමට මුහුණලා සිටගන්නා ඔහු දෙකනේ ඇඟිලි ගසාගෙන රැව් දෙන ගම්භීර ස්වරයකින් ” අල්ලා හො අක්බර්” යනුවෙන් කෑ ගසයි. ෂික් දෙවොලේ පූජකයා මුල්ලාගේ හඬ නතර වන තුරු ඇඳේම දිගා වී කන් දී සිටියි. ඉන් පසු නැඟිට ගන්නා ඔහු දෙවොල මිදුලේ ළිදෙන් වතුර බාල්දියක් ඇද ඇඟට වත්කර ගනී. ඉන්පසු ඔහු උස් පහත් ස්වරයෙන් යාතිකා කරන්නේ වතුර වැක්කෙරෙන්නාක් බඳු ඒකාකාරී හඬකිනි.” ( පිටුව 14)
එවකට අනුරාධපුර නඟරයේ තිබුණේද මෙවැනිම වාතාවරණයකි.( මම විශේෂයෙන් අනුරාධපුර නඟරය ගැනම සදහන් කරන්නේ මම එහි විසූ නිසා සහ මේ ලියන දේ මම අත්විඳි නිසා බව.සැලකුව මනාය. එකල රටේ හැම ගමකම හා නඟරයකම තත්වය මෙසේම වන්නට ඇත) ක්‍රිස්තියානි පල්ලියේ ගංඨා නාදය දුම්රිය හඬ මෙන්ම අපගේ දිවියේ හෝරා යන්ත්‍ර විය. හින්දු කෝවිලේ සීනු නාදය පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් පිසූ මුල්තැන් බතක් වැළදීමට අපට කළ ආරාධනයක් විය. බැංකු ටවුමේ තිබූ මුස්ලිම් පල්ලියේ යාච්ඤා හඬ අපට කන්දොස්කිරියාවක් වූයේ නැත. නෝම්බි කාලයට පල්ලියෙන් දෙන කැඳ ගන්‍නට බාල්දි රැගෙන යන අපගේ මුස්ලිම් මිතුරන් සමඟ අපද එහි ගියෙමු. පූජා නඟරය පුරාම තිබූ පංසල්වල දැන් මෙන් ශබ්ද පූජා නොතිබුණත් මල් සුවඳ හා මුසුවූ සිල් සුවඳනම් කිසිදු අඩුවක් නොමැතිව දසතම පැතිරුනේය. 
අපේ ගේ ඉස්සරහ නිවසේ විසූ දෙමළ පවුලේ දරුවන් සමඟ අප සෙල්ලම් කළෙමු. මට කුඩා සංධියේදී සරුංගල් තනා දුන්නේ ඔවුන්ය. නම් පමණක් දෙමළ වූ ඔවුන් කතා කළේ සිංහලෙනි. හංදියේ ගෙදර විසූ රහුමාන් අංකල්ගේ පුංචි ලොරිය අපේ පාරේ විසූ හැමගේම බඩු ප්‍රවාහනයට යොදා ගැනිණි. අපේ ගෙදරට උඩ ගෙදර විසූ අබුසාලි අංකල්ලා ඔවුන්ගේ වත්තෙන් කොස් ගෙඩියක් කැඩුවොත් අපේ පංගුවත් එවීමට අමතක නොකළේය. අපේ වැටේ ගස්වල මිටි ගණනින් හැදුණු මුරුංගා, තාත්තා ඒ හැම ගෙදරටම බෙදා දුන් බව මට මතකය. 
තාත්තා සමඟ කුඩා කල සෙල්ලම් කරද්දී මගේ නළල පැලුණු දිනයේ තාත්තා මා ඔසවාගෙන මහා ඉස්පිරිතාලයට දිව් වෙලේ මගේ නළල මසා ප්‍රතිකාර කළ දුවිඩ දොස්තර මහතා එදායින් පසු අපගේ පවුලේ හිතවතකු විය. එමෙන්ම අපගේ පවුලේ දොස්තර මහතා වූ ජෝන්පුල්ලේ දොස්තර මහතා මා රෝගී වී එතුමාහමුවට ගිය විට නිකමට මගේ අතින් ඇල්ලුවද මගේ රෝග සුව වූ බව මට මතකය. අපේ පාසලේ විදුහල්පති තුමා ආර් ස්ටැනිස්ලොස් ගුරුපියා දෙමළ ජාතිකයෙකි. එහෙත් එතුමා ගුණ නැණ පෑදුවේ අපගේය. අප ඇඳුම් මස්සවා ගත්තේ මුස්ලිම් සන්නාලියෙකු ගෙනි. කොණ්ඩය කප්පවා ගත්තේ දෙමළ කරනවෑමියාගෙනි. අපේ කැඩුණු සපත්තු, සෙරෙප්පු හා කුඩ සාදා දුන්නේ දෙමළ සපතේරුවෙකි. වැසි කාලයෙ පිරෙන වැසිකිළි වළවල් හිස් කිරීමට පැමිණියේ සක්කිලියන් නමින් හැඳින්වූ අපේම දුවිඩ සහෝදරයන්ය. ඒ එදා අපේගම්වල හැටිය.
” අන්තිම දුම්රිය ” කෘතියේ ඒ 1947 ගිම්හානය දක්වාම තිබූ ජාතීන් අතර සහජීවනය හා සහෝදර බැම්ම අපේ ගම්වද තිබුණේ මාඉහත විස්තර කළ අයුරිනි.  පැමිණ හැම ප්‍රශ්නයක්ම අපේම ප්‍රශ්න විය. ඒවා නියඟය, ගංවතුර හෝ මැලේරියා වසංගතය වැනි ස්වාභාවික ප්‍රශ්න පමණය. 
එහෙත් ඉන්දියාවේ මෙන්ම සුද්දා යනවිට ඒ තනතුරු බාරදී ගිය කලු සුද්දන් අපේ රටේද සමඟියට විනය කැටුවේ එකට සිටි ජාතීන් භේද භින්න කරමිනි. පනස් ගණන්වල ඇතිවූ මුස්ලිම්- සිංහල කෝලහල, 78 සහ 83 ඇතිවූ දෙමළ-සිංහල කෝලහල මේ ඊනියා ජඩ දේශපාළුවන්ගේ අවලං කුමන්ත්‍රණ විය. 83 සිට 2009 දක්වා වූ ඊළාම් යුද්ධයත් ඉන්පසු දැන් වරින්වර හිස ඔසවන මුස්ලිම් විරෝධි ව්‍යාපාරත් මේ යටිකූට්ටු වැඩවලම ප්‍රතිඵල නොවේද?
මෙම කෘතියේ කියවෙන අන්දමට සහෝදර බැම්මෙන් බැඳී සිටි ඔවුන්ම ඔවුන්ටම නොදැනී වෙනස් වූයේ මේ ආකාරයට. නීතිය බල්ලන් අතට ගත්විට දෙවියන් කෙසේ රැදෙන්නද? දාමරිකයන් හා සොරුන් පාලකයන්ට එක්වන්නේ මෙතැනදීය. ඔවුන් ජාතිවාදය මුවාවෙන් කළේ කොල්ල කෑමය. පොලීසිය කළේ එයට උල්පන්දම් දීමය. මෝඩ අමනයන් බොර කළ දියේ,  මාළු ටික බා ගැනීමය. 78 දී 83 දී දෙමළ ගෙවල්, කෝවිල් හා කඩ සාප්පු ගිනිබත් කළ අමණයෝ රත්තරං බඩු හා හරකා බාන හොරා කෑහ. පොලිස් කාරයන්ගේ තොප්පි අස්සෙන් එල්ලා වැටුණු හොරකම් කළ රත්තරං මාල එයට හොඳම සාක්ෂිය විය. සිනමාහල් හා සමහර ශබ්දාගාර සිනමාපට සමඟම ගිනිබත් කෙරිණි. මෙයින් කවුරුත් ලැබගත් දිනුමක් නැතිවිය. සාමකාමී ගම් නඟර යුද පිටි වී ක්‍රෝධයේ ගිනි දළු අහස වසාගත්තේ එලෙසිනි. අද වුවද ගින්න නිවුණද ලෝකයේම ඇත්තේ අළු යට ගිනි පුපුරු වැනි එදා ඒ අමන ජන නායකයින් රෝපණය කළ විෂ බීජය. සුද්දන් කැවූ විසය. 
මිනිසකුගේ ලිංගයේ සම් කැබැල්ලක්,  ඔහු තව දුරටත් ජීවත් වෙනවදාද නැද්ද යන්න තීරණය කිරීම දක්වා මනුසත් ගුණය පහතට වැටිණි. ” බාල්දිය”යැයි හරියට කියා ගැනීමට නොහැකි වීම ටයර් සෑයක අමු අමුවේම ආදාහනය වීමට සුදුසු කම විය. පිටතින් ආ බලවේග තමන්ට තමන්වම අහිමි කෙරිණි. තමන්ගේ සහෝදරයා කවුද සහෝදරිය කවුද යන්න පවා අමතක වනලෙස මිනිස් සිත් උමතු කෙරිණි.තමන්ගේ මව, සොයුරිය, බිරිඳ හෝ දියණිය හැරුනු කළ අනෙක් හැම ස්ත්‍රියක්ම නිකම්ම නිකන් මස් ගොඩක් සේ සැලකීමට තරම් ඔවුන්ගේ සිත් දූෂිත විය. තම ජාතිය හා ආගම ගැන පමණක්ම සිතන ම්ලේච්ඡ ගෝත්‍රික තත්වයට මිනිසා පෙරළිණි. අදත් ඒ තත්වයේ වැඩි වෙනසක් නැතිබව දැන් දැන් සිදුවන දෙයින් අපට පෙනී යයි. මේ මෙතෙක් කල් සිදුවූ දේය. ඉදිරියෙදී ඒවා නැවත කළ හැක්කේත් එසේත් නැතිනම් නොකළ හැක්කේත් මිනිසුන්ටම පමණි. 
මට නැවතත් මේ කෘතිය ගැන ලියන්නට අවසර. මෙහි ඇති පරිසර වර්ණනය සහ පරිසරය ඇසුරින් සිද්ධීන් විස්තර කිරීම ඉතාමත්ම සිත් ගන්නා සුළුය. පහත උපුටනයන් කියවීමෙන් මා පවසන දේ ඔබට වැටහෙනු ඇත. 
“නිල් විපුල් අහස අනාවරණය කරමින් වලාකුළු විසිරී ගියේය. හිරු රැස් කළඹක් වැහි පොද හරහා ඇලයට දිව්වේය. කාන්තිය වෑහුණු හිරු රැස් රේඛා වැහි දියෙන් තෙතබරි වුණු කෙත් යායවල සෙල්ලම් කළේය. චන්දන් නගරයේ කඩ මණ්ඩිය අඩ කවයකින් වට කරමින් අහස හරහා දේදුනු දෙකක් පායා තිබුණි. ” ( පිටුව 153) බලන්න කෙතරම් නම් සුන්දරද? ලේඛකයා මෙන්ම පරිවර්තකයාගේද ශූරකමට මෙයටත් වඩා මොන නම් නිදසුන්ද?
” එය අඳුරු බර රැයක් විය. වලාකුළු පලවා හළ මඳ පවන නැවතත් ඒවා කැඳෙව්වේය. මුලින් වලා පෙළ ඇදී ආවේ සුදු ලොම් කැරලි මෙනි. සඳවතිය තම මුහුණ පිස වලාකුළු ඉවත් කළාය. ඉක්බිති දැවැන්ත රැළි නගාගෙන පැමිණි වලා පටල සඳ එළියේ පැහැය නසා අහස මූසල අළු පැහැයට හැරවීය. එහෙත් තම දීප්තිය රඳවා ගැනීමට සටන් කළ සඳ ඉඳහිට රිදී පැහැ කාන්තියක් විහිදෙව්වේය. අනතුරුව කාලවර්ණ විරෑපී සතුන් මෙන් පැමිණ වලාකුළු කඳු ,අහස පුරා විසිරැනේය. කිසිදු විදුලි කෙටීමකින් හෝ ගිගුරුමකින් තොරව වැහි වැටෙන්නට විය. “(පිටුව 169) මෙහි පරිසරයේ වෙනස් වීම ජන ජීවිතයේ සිද්ධවීමට යන වෙනසට, ව්‍යවසනයට ආදේශ කර ඇති අපූරුව ඔබට දැන් වැටහෙනවා ඇත. 
මෙහි තැනෙක එන, අපේ රටෙත් බහුලව සිදුවුණු සමූහ මිනී වළක් පිළිබඳ විස්තරය ලියා ඇති නිර්මාණාත්මක ශෛලිය මා විස්මයට පත්කිරීමට සමත් විය.
” බුල්ඩෝසරය ආ සැණින් දුම්රිය ස්ථානයෙන් පිටත මනෝ මජ්රාවේ පැත්තෙන් පොළොව හපා කන්නට විය……ඉක්බිති බුල්ඩෝසරය කෙටි ඉසිඹුවක් ගත්තේය……. අනතුරුව ඉසිඹුව අත්හළ බුල්ඩෝසරය හකුපාඩා විවෘත කොට මීට කලින් තමන් විසින් පිටතට වීසි කරන ලද පස් කටට ගෙන වළ පිරී බිම සමතලා වන තුරු වැමෑරැවේය. බුල්ඩෝසරයේ කාර්යය නිම වූ විට එම ස්ථානය පෙනුණේ සුව වුණු තුවාලයක කැළලක් සේය. හිවලුන්ගෙන් හා වලසුන්ගෙන් මිනී වළ ආරක්ෂා කර ගැනීම සඳහා සොල්දාදුවෝ දෙදෙනෙක් මුරට සිටියහ.” ( පිටුව 199)
බලන්න මෙහි අවසාන වැකියෙහි ඇති සමච්චලය. උත්ප්‍රාසය. ජීවත්ව සිටියදී මිනිසුන්ගෙන්ම ආරක්ෂා කර නොගත් නිසා මිය ගිය එවැනිම මිනිසුන්ගේ මළකුණු සතුන්ගෙන් රැක ගැනීමට ආරක්ෂාව යෙදවූ අමන යුගයක අමිහිරි මතකයන්. අපද ඒවා දෑසින්ම දැකීමට තරම් පව් කාරයන් වීමු.
මෙලෙස ගලා යන කථාවේ අවසානයේදී මනෝ මජ්රාවටද පිටතින් ජාති වාදය කාන්දු වේ. එහිදී සහෝදර බැම්මෙන් බැඳී වුන් විවිධ ආගම් හා ජාතීන්ට අයිති වූ ගම්මුන්ගේ ඉතාමත්ම සංවේදී ශෝකජනක ඉරණමත් අවසානයේ සමාජයේ වරදින් දාමරිකයෙකු වූ ජුගුත් සිංගේ මානුෂික කැප කිරීමත් පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයයි. 
මෙහි පරිවර්තක කුලසේන ෆොන්සේකා මහතා ලියූ කෘති වලින් මා කියවා තිබුණේ ” පාලම යට ” පමණි. සම්මානනීය කෘතියක් වූ එය පාදක කොට තැනූ ” පාලම යට ” සිනමා නිර්මාණය මහනුවර රීගල් සිනමා හලේ ගැලරියට වී නැරඹූ අයුරු මට අද මෙන් මතකය. එදා අතුරු සිඳුරු නැතිව පිරී තිබූ සිනමා හලේ ගැලරියට පවා මා රිංගා ගත්තේ ඉතාමත්ම අසීරුවෙනි. 
එතුමා ලියූ ” පාලම යට”, “තුන් යහළු වික්‍රමය”, ” සෝමපුර වීරයෝ”, ” රංසිරිගේ සංග්‍රාමය” හා ” සැරිසරන සිත්තරා” යන කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම්‍ ලැබීමම එතුමන්ගේ සාහිත්‍ය ඥානය හා ලේඛණ හැකියාව අපට පැහැදිලි කරයි. 
ඔබ ” අන්තිම දුම්රිය ” තවමත් කියවා නැතිනම් ඔබටම එය කියවා රස විඳීමට ඉඩ හරිමින් පොත ගැන මම තවත් විස්තර නොලියමි. එහෙත් සමු ගැනීමට මත්තෙන් මෙහි එන ආර්‍යවංශ රණවීර කවියා විසින් පරිවර්තනය කළ කවියක් ඔබගේ රස වින්ඳනය උදෙසා උපුටා දක්වමි.
” සුව දෙන තුරු වඳුලු තුළ ගී ගයනු නැත හැම විටමිහිරි සර ඇති කොවුලිඳු
සැමකළ විකසිතව සිටිනු නැත මල් පියකරුසුන්දර වසත් කලගෙවී යයි නොපවතී නිරතුරු
සතුට රජ නොකරයි සැම දිනසතුටෙහි හිරු ගෙවෙයිනොරැඳේ සදා කල් මිතු දමමේ බැව් නොදත්තේනොදනී දිවිය හරිහැටි. ” ( පිටුව 178)
අනියත දහම නම් වූ මෙය දිවියේ සැබෑ අරුතයි……


චන්දන ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Please mark all required fields.