අනුරාධපුර ශාන්ත ජෝෂෆ් ගුරු මව්ගේ 123 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙනි…

  • March 19, 2021

මා සිප් සතර හැදෑරූ මගේ පාසල් මාතාව, අනුරාධපුර ශාන්ත ජෝෂෆ් විදුහලේ අදට යෙදුණු 123 ජන්ම සංවත්සරය වෙනුවෙනි.❤️❤️

ඒ 1978 සීතල දුරුත්තයි. අනුරාධපුර නිවත්තක චේතිය ප්‍රාථමික විදුහලින් සමුගත් මා අනුරාධපුරයේ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළු වූ වසරයි.

තෙවසරක්ම මිශ්‍ර පාසලක උගත් මට හතරවන ශ්‍රේණියේදී ඇතුළු වූ පිරිමි ළමුන් පමණක් සිටින නව පාසල් දිවිය විශාල අභියෝගයක් විය.

මා වැටුණු 4බී පංතිය ඉතාමත්ම දක්ෂ ළමුන්ගෙන් මෙන්ම අති මහත් දරුණු ළමුන්ගෙන්ද පිරී පැවතුණි.

උපතින්ම ඉතා නිහඩ සිසුවකු වූ මා හට ඔවුන්ගෙන් බලපෑම් එල්ල වූවත් ගුරුවරුන් නම් මට බෙහෙවින්ම ආදරය කළහ.

අපගේ පංතිභාර ගුරු මෑණියන්වූ කුලතිලක මහත්මිය සහ අපට ඉංග්‍රීසි ඉගැන්වූ කරුණාරත්න ගුරු මෑණියන්වත් අතිමහත් භක්ති ප්‍රණාමකව සිහිපත් කළ යුතුමය.

මා සමඟ හෝඩියේ පංතියේ සිටම එකට සිටි රවී ගලගොඩ මිතුරාද මාත් සමඟම මේ නව පාසලේ මගේ පංතියටම වැටීමද මට මහත්මවූ රුකුලක් විය.

මෙසේ කාලය ගෙවී යද්දී නව මිතුරන්ද ලද මා පාසලට කෙමෙන් හුරු වන්නට පටන් ගතිමි.

එම වසරේ මාර්තුවද උදා විය. මගේ කුතුහලය ඇවිසුවාවූ සිදුවීම් රාශියක් මේ දිනවල පාසලේ සිදු විය. පංති කාමර වල මකුළු දැල් කඩා බිත්තිවල අළුත් සමර ආලේප කෙරිණි. වත්ත පිටියේ හා ක්‍රීඩා පිටියේ වල් පැල ගැලවී කල එළි වුණි. එපමණක් නොව ගුරුවරුන් හා සිසුන්ගේ මුහුණුද ඔප වැටී තිබුණේ උදා හිරු කිරණ වැදී දිස්නෙ දෙන තිසා වැවේ ජල තලය මෙනි.

තවත් මේ අරුමය ඉවසා සිටීමට නොහැකී වූ තැන මා මේ පිළිබඳව පංතියේ පැරණි සිසුවකුගෙන් විමසා සිටියෙමි. ඔහුගෙන් පැවසුණේ මාර්තු 19 වෙනිදා පාසලේ College Day එක එනම් පාසල් දිනය බවයි.

අදද මාර්තුවේ දහනම වෙනිදාවකි. මගේ පාසල් මාතාව අද දිනයේ ඇයගේ 123 වැනි ජන්ම දිනය සමරන්නීය.

මේ වසරට මා පාසලින් සමු ගෙන වසර 34 ක් හා මව් බිමින් ඈත්වී වසර 26 ක් සපිරෙයි. එහෙත් සෑම මාර්තුවකම දහනම වෙනිදා අලුයම මා හට පාසල් මාතාව සිහියට එන්නේ සිහිනෙන් ගෑ සුවඳක් පරිද්දෙනි.

පාසල මතකයට එන සෑම නිමේෂයකම ඒත් සමඟම මගේ සිතිවිලි අතරට එන උතුම් චරිතයක්ද ඇත. ඒ නම් පුරා අවුරුදු 34 ක් අඛණ්ඩව පාසලේ විදුහල්පති ධූරය ඉසිලූ ආර් ස්ටැනිස්ලෝස් ගුරු පියාණන්ය.

යාපනයේ ජන්ම ලාභය ලද ද්‍රවිඩ ජාතිකයෙකු වූ එතුමාගෙන් තොරවූ ශාන්ත ජෝශප් විදුහලක් ගැන මතකයක් මගේ සිතට නොඒ. මන්ද එතුමා හා පාසල ඒ තරමටම බද්ධ වී තිබුණු නියාවෙනි. පාසල එතුමාම විය. එතුමා පාසලම විය.

1979 වසරේ අප පස්වන ශ්‍රේණියේ සිසුවන් විමු. එතුමාගේ යෝජනාවක් අනුව පාසල් දිනයදා පංතිවල බත් හා මාළු පිනි පිස සැවොම එක්වී අනුභව කිරීමට තීරණය විය. එතෙක් කලක් සිදුවූයේ සිසුන් විසින් බාර්ලි,කොකා කෝලා වැනි බීම හා කේක් ,පැටිස්, රෝල්ස් වැනි කෑම ජාති පාසලට ගෙනවිත් කා බී ප්‍රීති වී පාසල් දිනය සැමරීමයි.

ගුරු මෑණිවරුන්ගේද සහයෝගය ඇතුව පාසලේ ලිප් බැද කෑම පිසීමෙන් අප මහත් ආස්වාදයක් ලදිමු.

එහෙත් ඊළඟ වසරේ සිට සිසුන්ට බත් හා මාළු පිනි නිවෙස් වලින් පිළියෙල කරගෙනම ඒමට නියම වුණි.

පාසල් දිනය දා සිසුන් අමතා වෙනදාට වඩා වැඩි වේලාවක් කතා කරන ස්ටැනිස්ලෝස් මහතා ගුරු මංඩලයේ කිහිප දෙනෙකු සමඟ පංතියෙන් පංතියට පැමිණ සිසුන්ගේ සංග්‍රහ භුක්ති විඳීමෙන් අනතුරුව අපේ වාරය පැමනේ. තම පංතිය අනෙක් පංතිවලට වඩා ලස්සනට සැරසීමට සෑම සිසුවකුම පාහේ උත්සහ ගත්හ.

එක් වසරක උසස් පංතියක සිසුන් කණ්ඩායමක් පාසල් දිනයදා පාසලට හොරෙන් මත් පැන් බෝතලයක් ගෙනැවිත් ඇතිබැව් එතුමාට ආරංචි වී තිබිණි.

ඒ පංතියම පීරා බෝතලය සොයාගත් එතුමා මුළු පංතියම වහාම නිවෙස් වලට යැවීය. එම සිසුන්ගේ පාසල් දිනය එතනින්ම නිමා වුණි.

පහුවදා සිසුන් රැස් කළ එතුමා බෝතලය පාසලට ගෙනා පංතියේම ළමයෙකු ලවා මත් පැන් බෝතලය විවෘත කරවා ඔහුට එහි සුවඳ ආඝ්‍රහණය කිරීමට අණ කළේය. ඉන් පසු එය බිමට හලන්නට කියා ඊට ගිනි කූරක්ද දැමීය. බෝතලය ගෙනා පංතියේ ළමුන්ගේ මුහුණුද ඒ ගින්නටම අසුවී මැලවී යනු දක්නට ලැබිණි.

පාසල් දිනය සමරන අද දවසේ ස්ටැනිස්ලෝස් මහතා ගැන පැවසීමට මට බොහෝ දේ ඇත. මම නැවතත් කියමි. එතුමා ගැන කතා කිරීම පාසල ගැන කතා කිරීමක්ම වන්නේය. මක් නිසාද එතුමාගෙන් තොරවූ පාසලක් එකල නොතිබූ නියාවෙනි.

තම උපන් බිමවු යාපනයෙන් පිටමං වී සිංහල දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් තම දිවියම කැප කළ එතුමාට තමන්ට කියා හරි හම්බ කරගත් වස්තුවක් නොවීය.

වර්තමානයේ ලක්ෂයට කොඩි දමා වෙසෙන සමහර විදුහල් පති තුමාලට මෙන් එතුමාට වසන්නට මාලිගයක් නොතිබිණි. ගමන් බිමන් යාමට යාන වාහන තිබුණේ නැත. පාසලේ ක්‍රීඩා භාණ්ඩ කාමරයට යාබදව තිබූ ඉතා කුඩා කුටිය එතුමාගේ නිවහන විය. හුදෙකලාව එහි විසූ එතුමාට ගමන් බිමන් යාමට තිබුණේ පරණ පා පැදියක් පමණි.

එතුමාගේ පවුල බැලීමට ඉතාමත් කලාතුරකින් යාපනේ ගිය එතුමා පාසල් නිවාඩුව පවා බොහෝ විට ගත කළේ අනුරාධපුරයේය.

එතුමාගේ නෑදෑයෙකු කියා මේ කාලය තුළම මා දුටු එකම පුද්ගලයා වූයේ එතුමා බැලීමට ඉදහිට පැමිණි එතුමාගේ පුත්‍ර රත්නයයි. ඉතා නිහඩ පුංචි පුද්ගලයෙකු වූ ඔහුට තිබුණේ ප්‍රිය මනාප පෙනුමකි.

බොහෝ දුරට සුදු පැහැ ගැන්වී තිබූ තම කොණ්ඩය මනාවට පසු පසට පීරා උන් ස්ටැනිස්ලෝස් මහතා දිනපතාම තම රැවුල බා හොඳින් මැඳි පිරිසිදු ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේය.

ඉතා තියුණු උකුස්සෙකුගේ වන්වූ එතුමාගේ කරුනාව පිරි දෙනෙත් තරහ ගියවිට දරුණු ව්‍යාඝ්‍රයෙකුගේ මෙන් විය. ඔළිඳ ඇට මෙන් රත් පැහැ වී ඳොඹ ගෙඩි මෙන් එළියට නෙරීය.

කෝප වූ එතුමාට සිසුන් ඉතා අධිකව බියවූහ. කෝපාවිෂ්ට පෙනුමට අමතරව අත රැඳි අඩි 3 ක් පමණ දිග කෝටුවේ රස දැනසිටීම එයට හේතුවයි. ළමයෙකු වරදක් කළ විට පස්ස පැත්තට ඉන් පහරවල් හයක්ම දුන්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය.

අධික ශබ්දයෙන් යුතු පංති කාමර හිටි අඩියේ මීයකට පිම්බාක් මෙන් කිසිදු හැලහොල්මනක් නැතිව නිශ්ශබ්දව යනවිට එතුමා ළඟ පාතක බැව් අප ඉවෙන්ම දැන ගතිමු.

යතුරු පැදි අනතුරකට ලක්ව පෝලියෝ හැදුනාක්මෙන් පුංචි වී තිබූ එතුමාගේ එක පාදයක් අනෙකට වඩා කොටවූ නිසා එතුමා ඇවිද්දේ නොන්ඩි ගසමිනි. ඒ පාදයේ පැළඳි සපත්තුව ලෝහ පටි සවිකොට විශේෂයෙන්ම ඒ පාදයටම ගැළපෙන්නට සාදා තිබිණි. එය පැළඳ එතුමා ඇවිදින විට කොඤොක්…..කොඤොක්… වැනි ශබ්දයක් සපත්තුවේ හම හා ලෝහ පටි එකට ඇතිල්ලීමෙන් නිරතුරුවම නිකුත් විය.

හැමදාම උදෑසන එතුමා විදුහල්පති කාර්‍යාලය ඉදිරිපිට සිටගෙන ළමුන්ට සහ ගුරුවරුන්ට Good morning යැයි කියමින් ආචාර කිරීම පුරුද්දක් කොට සිටියේය. සෑම සිසුවකුම පාහේ නමින්ම දැන සිටි මෙතුමා හැම ළමයෙකුගේම නිල ඇඳුමේ පිළිවෙළ හා ඔවුන්ගේ කොණ්ඩ පිළිබඳව ඉතාමත්ම තදින් හා විමසිල්ලෙන් සිටියේය.

පාසලට නොගැලපෙන හෝ උවමනාවට වඩා දිගු කොණ්ඩයක් දුටු විට එතුමා වචනයක් වත් කතා කළේ නැත. කළේ අදාළ සිසුවාගේ කොණ්ඩය දෙසට ඇඟිල්ලක් දිගු කොට අනෙක් අතින් කතුරේ හැඩය පෙන්වීම පමණයි. පහුවදා උදයේ එම සිසුවා කොණ්ඩය නොකපා පැමිණියහොත් එදාට ඔහුට පාසලට ඇතුල් වීමට වරම් ලැබුණේ නැත.

එතුමා සිසුන්ව ඉංග්‍රීසි ඉගෙනුමටද විශාල වශයෙන් යොමු කළේය. පාසලට පැමිණෙන මග දිගට වූ තාප්පයේ “Speak English now. Don’t regret later ” වැනි උදෘත පාට ලියැවීය. එතුමාගේ සිංහල කතාව ඉතාමත් දුර්වල වූ අතර හැම විටම වාගේ කතා කළේ ඉංග්‍රීසියෙනි. මේ හේතුව නිසාද එතුමා හමුවට යාමට අප බිය වීමු. ඒත් අපට බේරි සිටිය නොහැකි විය.

එතුමා උදෑසන රැස්වීම ඉංග්‍රීසියෙන් අමතා කවුරුන් හෝ ශිෂ්‍යයෙකුව වේදිකාවට කැඳවා එතුමාගේ කථාවේ සිංහල අනුවාදය ඉදිරිපත් කිරීමට නියම කළේය. මේ හේතුව නිසා සිසුන් එතුමාගේ කතාවට හොඳින් සවන් දුන් අතර ඒ මගින් ඉංග්‍රීසි ඉගැනුමටද මග පෑදුණි. එදවස එය කරදරයක් සේ හැඟුණත් එහි පළ විපාක දැනෙන්නේ දැන්ය.

සිංහල කතාව හොඳින් බැරිවූ එතුමා සිංහලෙන් කතා කිරීමට යාමේදී සිදුවූ ඉතා හාස්‍යජනක සිද්ධීන් කිහිපයක් මගේ සිහියට එයි. ඒවා මා මෙහි සඳහන් කරන්නේ හුදෙක් විනෝදාස්වාදයට විනා එතුමාට අබ මල් රේණුවකවත් අවමානයක් කිරීමට නොවේ. මට ඒ තරමින් වත් දෙමළ කතා කිරීමට නොහැකි වීම ගැන මම අදද දුක් වෙමි.

ඉතුමාට නහුතයට තරහ ගිය විට සිසුන්ට බල්ලා කියා සැරවූ අවස්ථා තිබිණි. එහෙත් එතුමාට තිබූ ආදරය නිසා කිසිවෙකුත් ඉන් උරණ නොවිණි. නමුත් එතුමා එය කියූවේ මෙසේයි. ” අඩා භල්ලූ ” ……. බල්ලා වෙනුවට කෑගැසුවේ භල්ලූ කියාය.

ඊටත් වඩා ඉතා අපූරු දෙයක් තවත් වරෙක සිදු විය. එතුමා එක් සැන්දෑ යාමයක තම පාපැදියේ මල්වතු ඔයේ පාලම උඩින් ගමන් කරද්දී ඔයේ නාමින් සිටි එක්තරා නොසන්ඩාල කොලු ගැටයකු විසින් හූවක් කියා එතුමා ඒ දෙස බලන විටම ජලය යටට ගොස් ඇත. කොලුවා විසින් මේ විහිළුව කිහිප විටක්ම කර තිබූ අතර මේ සිද්ධිය සම්බන්ධව රතු කට්ට පැන තිබූ එතුමා පහුවෙනිදා උදේම රැස්වීම කැඳවා සිද්ධිය විස්තර කළේ මෙසේයි.

” අඩේ මේක මම ඊයෙ මල් වතු ඔය උඩින් යනකොට එක නරක කොල්ලා හූ කානවා යට යනවා. හූ කානවා යට යනවා” කියායි. ගුරුවරුන් හා අපිද මුහුණින් මුහුණ බලා සිනහව තද කරගෙන සිටියෙමු. පසුව අපට කාරණය වැටහුණි. එතුමා කියා තිබුණේ හූ ගානවා . යට යනවා කියාය. එහෙත් ‘ගා’ වෙනුවට දෙමළ උරුවට ශබ්ද වී තිබුණේ ‘ කා ‘යන්නයි.

1978 හා 1983 දී ඇතිවූ ඒ ඊනියා ජාතිවාදී කලබල සමයන්හිදී ආරකාෂාකාරී ස්ථානයකට යන මෙන් ඉල්ලමින් අනෙකුත් සිංහල ගුරුවරුන් එතුමාට නොවැන්ඳා පමණි. එහෙත් එතුමා කොහේවත් ගියේ නැත. කාටවත් වරඳක් නොකළ එතුමාට කිසිවෙකුගෙන් කරදරයක් නොවන බව එතුමාට විශ්වාස විය. එයට හේතුව වූයේ අනුරාධපුර ටවුමේ සියලුම කොල්ලන් එතුමාගේ ගෝලයන් වීම හා එතුමාට ආදරය කිරීමයි.

පාපන්දු ක්‍රීඩාවට තදින්ම ඇලුම් කළ මෙතුමා පාසල ක්‍රීඩා කරන සෑම තරගයකටම ගොස් සිසුන් සමඟම වාඩිවී එම තරග නැරඹුවේය.

විශ්‍රාම යන තුරුම ශාන්ත ජෝශප් විදුහලටම තම දිවිය කැප කළ එතුමාගේ මළ ගමට, රටේ නොසිටිය නිසා මට යාමට නොහැකි විය. එහෙත් මහත් හරසරින් යුක්තව එය සිදුවූ බව මම දනිමි. පාසලේ ක්‍රීඩාගාරයද එතුමාට උපහාර පිණිස ආර් ස්ටැනිස්ලෝස් නාමයෙන් නම් කෙරිණි.

මගේ පාසල් මෑණියගේ ජන්ම දිනය වූ අද මා එතුමාවද ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නේ එතුමාගෙන් තොර පාසලක් මා නොදුටු නිසාය.

මම තවත් එකම එක වගන්තියක් පමණක් ලියා තබා මේ සටහනට විරාමය තබමි. ගරුතර ස්ටැනිස්ලෝස් මහතාණනි, ඔබවන් පුතුන් ලක් මවට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකිනි. මේ සසර ගමනේ යම් දිනෙක නැවත අප හමු වෙමු.

  • චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Leave a Reply

Your email address will not be published. Please mark all required fields.