I'm Chandana Gunasekera
TranslatorEngineerAuthor

About Me

Let me introduce myself


Chandana Gunasekera
Chandana Gunasekera

Author

රජරට නුවර කළාවියේ වැව් බැඳි රාජ්‍යයේ උපන් චන්දන ගුණසේකර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය සමත්ව වර්ථමානයේ එංගලන්තයේ වෙසෙන සාහිත්‍යට හා කලාවට නිබදව පෙම්බඳින සහෘදයෙකි. මුහුණු පොතේ කවියක්, කෙටි කතාවක් හෝ ලිපියක් පළකරමින් යම් පාඨක ප්‍රසාදයක් දිනාගෙන හුන් ඔහු සිය ප්‍රථම පරිවර්තන කෘතිය වශයෙන් ඕස්ට්‍රේලියානු ජාතික හෙදර් මොරිස් මහත්මිය විසින් විරචිත The tattooist of Aushwitz නවකතාව “ අවුෂ්විට්ස්හී පච්චකොටන්නා” නමින් සිංහලය නැඟීය. එය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ‘අපූරු පොත්’ සමාගම විසිනි.නොසිතූ අයුරින් තම කුළුඳුල් පරිවර්තනයට ශ්‍රී ලාංකේය පාඨකයින්ගෙන් ලැබුණු ඉමහත් ජනාදරයෙන් උත්තේජනය ලැබූ හෙතෙම 2020 වසරේ දී සිය දෙවැනි පරිවර්තන කෘතිය එළිදැක්වීමට මංපෙත් විවරකර ගත්තේය.

එවර ඔහු අතගතසා තිබුණේ තරමක් බැරෑරුම් කාරියකටය. එයට හේතුව වූයේ මෙවර තෝරාගෙන තිබූ මුල් කෘතියේ රචකයා එසේ මෙසේ පුද්ගලයකු නොවීමය. එම කතුවරයා වෙන කිසිවෙකුත් නොව මුළු ලෝකය පුරා තම කෘති මිළියන ගණනින් අළෙවිකරමින් හොඳම ලේඛක ලැයිස්තුවේ වැජඹෙන ඇමෙරිකානු ජාතික ස්ටීවන් කිංග් මහතාය. එතුමා මෙතෙක් ලියා පළකොට ඇති කෘතීන් ගණනින් 61කි. ඒ අතුරින් අපේ චන්දන ගුණසේකර සිංහලයට නැගීමට තෝරාගෙන තිබුණේ කිංග් මහත්තයාගේ පෙට් සෙමෙට්‍රි නම් වූ නවකතාවයි. King of Horror එනම් අද්භූත කතාවේ රජු නමින් විරුදාවලිලත් ස්ටීවන් කිංග්ගේ බහුතරයක් නවකතා අද්භූත ශානරයට අයත්ය. එමෙන්ම ඒවා මහා පතරංග ජාතක මෙන් දිගුය. විශේෂයෙන්ම එතුමන්ගේ It, The Stand වැනි කෘතීන් පිටු දහස ඉක්මවයි. The Shining, Misery වැනි කෘතීන් අද්භූතබවින් හා භයංකාරත්වයෙන් කියවන්නාගේ ලොමු දැහැගන්වයි. තම සාහිත්‍යකරනය වෙනුවෙන් වටිනා සම්මාන කිහිපයක් දිනාඇති ස්ටීවන් කිංග්ට ඇත්තේ තමන්ටම ආවේනික වූ රචනා විලාසයකි. වෘතියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකුද වූ එතුමන්ගේ බසද ගැඹුරුය. දැනටත් නවකතාකරනයේ යෙදෙන මෙම දෑවැන්තයා, නවකතාකාරියක වන තම බිරිඳ ටබිතා කිංග් සමඟ ඇමෙරිකාවේ මේයින් හී දිවිගෙවයි.

චන්දන ගුණසේකර තම දෙවැනි පරිවර්තනය ලෙසින් තෝරාගත් මෙතුමන්ගේ එකළොස්වැනි නවකතාව වූ පෙට් සෙමෙට්‍රි, මෙතුමන් ලියූ කෘති අතුරින් සුවිශේෂී වෙයි. එයට හේතුව එතුමන්ගේ වචනයෙන්ම පවසනවානම් එතුමන් වඩාත් සංත්‍රාසයටත් , කැළඹීමටත් පත්වී ඇත්තේ තමන්ම ලියූ පෙට් සෙමෙට්‍රි කියැවීමෙන් බවයි. මෙහිදී තමන් පාඨකයන්ගේ අධ්‍යාත්මයන් තුළට හද සන්තානයන් තුළට උවමනාවටත් වඩා වැඩියෙන් ඇතුළු වූවායැයි එතුමන්ගේ අදහස විය. එය සත්‍යක් බැව් පෙට් සෙමෙට්‍රි කෘතිය නිවුනු මනසින් හා මනා සංයමයකින් යුක්තව කියවන පාඨකයාට තේරුම් යනු ඇත. එය ඒ තරම්ම ගැඹුරුය. ඒ තරම්ම සංවේදීය. ඒ තරම්ම හදසන්තානයට ආමන්ත්‍රණය කරන්නේය.

2019 වසරේ දී අවුෂ්විට්ස් හී පච්චකොටන්නා කෘතිය මඟින් ලලී නම්වූ අවුෂ්විට්ස් කඳවුරේ හුන් පච්චකොටන්නාගේ සහ එහිම විසූ ගීටා නම් සිරකාරියක අතර මරණයේ රුඳුරු සෙවනැල්ල යට ඇතිවූ ඒ පිවිතුරු ආදර අන්දරය ඔබ වෙතට සමීප කළ චන්දන ගුණසේකර එහිම චරිතයක් වූ සිල්කා නම් යුවතියගේ කතාන්දරයද සිංහලට නැඟීමට 2020 වසරේදීම සමත්විය. එය ඔහු ලද මහඟු භාග්‍යකි. The tattooist of Auschwitz රචනා කළ හෙදර් මොරිස් මහත්මිය විසින්ම විරචිත Cilka’s Journey නම්වූ ඒ අනුවේදනීය කතාව, “ සිල්කාගේ දිවිසැරිය” නමින් චන්දන ඔබ වෙතට ගෙනඑන්නේය. සුභාවි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත්කළ මෙම කෘතිය 2020 සැප්තැම්බරයේ නිකුත් විය.දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ අවුෂ්විට්ස් කඳවුර රුසියානුවන් විසින් මුදාගැනීමෙන් අනතුරුව එහි හුන් සිල්කා ඇතුළු රැඳැවියන් සයිබීරියාවේ වොකූටා නම්වූ ශ්‍රම කඳවුරට රැගෙන යාම සහ තම දිවි රැක ගැනීම සඳහා එහිදී ඔවුන් කළ අරගලය පාඨකයා වෙතට මෙහිදී ගෙන එයි. අතිශය බියකරුවූත් කුරිරු වූත් හා මරණයම පමණක් උරුම වූ මෙම පරිසරයට මෙම කාලවකවානුවට මෙම කෘතිය විසින් ඔබව රැගෙන යනු ලබයි. අප සිහිනයෙන් හෝ බලාපොරොත්තු නොවන ඒ අත්දැකීම් ඔබට අනාවරණය කෙරෙයි. එය ගවේශණය කිරීම දැන් ඔබට භාරය.

ඉදිරියේ දී තවත් පරිවර්තන කෘතීන් සහ තමන්ගේ ස්වතන්ත්‍ර කෘති හා කවි නිර්මාණ සමඟින් ශ්‍රී ලාංකීය කලාකෙත පෝෂණය කිරීම තම අධිෂ්ඨානය කරගෙන සිටින චන්දන, සිවිල් ඉංජිනේරුවරයෙකු වශයෙන් තම ජීවිකා වෘතියේ නියැළෙමින් සිය ප්‍රිය බිරිඳ, දියණිය හා පුතණුවන් සමඟින් එංගලන්තයේ වොට්ෆඩ් පුරයේ දිවිගෙවයි.

My Books

These are my books


My Blog Posts


  • June 4, 2021

අහිංසක ඔහු අපෙන් උදුරාගත් පාපතරයිනේ අසව්…!

ආලය මව් ගුණය හා පරිසර වැනුම

ගීයට කැටි කළා ප්‍රතිභාවෙන් උරුම

ජීවත් වුණේ මිය යායුතු බව දැනම

මේ ටික නොදැන මැරු බව අදහනු කොහොම

හතලිස් දෙවසරයි දිවියට ඉඩ ලැබුණේ

දෙගුණෙක වයසෙ වැඩ ඒ ටික දින කෙරුණේ

මිණි කිංකිණි හඬිනි දෙසවන් පණ පෙවුණේ

නල දත් පෙන්නවූ මදහස සිත රැඳුණේ 

අවි අත දැරූ බැලයිනි ඒ පාළු රැයේ

තෙපිහට අහිංසක මුව ඇයි නොපෙනි ගියේ

නැතිවද ලියූ ගී කිසිදා රැඳුනෙ ළයේ

කෙළෙසද මලක් පොඩිකෙරුවේ පවට දැයේ

සිටියා නම් ගෙවෙයි අද හැත්තෑ හතර

කවි ගී දහස් ගණනක් නොමවෙයි නතර

එනමුත් සිදුවෙනා නොමිනිස්කම් නිතර

නොදැකම ගිය එකත් යහපතකය මිතුර

ආදරණීය ප්‍රේම්(ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්) ඔබගේ ජන්ම දිනය වූ අද පමණක් නොව සැමදාමමම ඔබ සිහිපත් කරමි. මේ පුංචි කවිපද ඔබේ නාමයට උපහාරයක්ම වේවා!

චන්දන ගුණසේකර

2021 පොසොන් මස 3 වෙනිදා

  • May 20, 2021

මිහි මවගේ දියණියය ඈ….

මා මීට සිව් වසරකට පෙර ලියූ සටහනක්…

ඇය සියල්ල අත හැරියාය. වෙසෙසින්ම කාන්තාවන් ඉතාමත්ම ප්‍රිය කරන කණකර ආභාරණ ඇය පසෙකට දැමුවේ අලුයම ඉවත හෙළූ කෙළ පිඩක් සේය. එමෙන්ම කාන්තාවන්ගේ පංච කල්‍යානයෙන් වැදගත්ම අංගයක්වූද ඇයගේ අන්‍යතාවයේ කැටපතක් බඳුවූද ඇගේ දිඟු වරලසද ඇය කපා දැමුවාය. වයිවාරන විලාසිතා, ඇඳුම් පැළඳුම් හා රූපලාවණ්‍ය කළමනා පසෙකලූ ඇය ඉතාමත්ම චාම්වූ සැහැල්ලු හා සරල දිවිපෙවෙතකට අවතීර්ණ වූවාය. ආගම දහමට නැඹුරුවූවාය. මේ වර්තමානයේ ඇයයි.

අප සැමටම මෙන් ඇයටද අතීතයක් තිබිණි. එය එසේ මෙසේ අතීතයක් නොවීය. 1987 වසරේ එක්තරා දිනෙක ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර සිනමා උළෙල පැවති විසල් ශාලාව හෙල්ලුම්කන තරමට අත්පොළසන් නාදයක් නැගුණේ ඇය වෙනුවෙනි. එදා ලොව හොඳම නිළිය ලෙස අභිෂේක ලැබූ ඇය අද එම සම්මානය පවා සලකන්නේ ඉතාමත්ම පහසුවෙන් අතහැරිය හැකි නොවටිනා තවත් එක භෞතික වස්තුවක් විලසිනි.

එදා , ඩී බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ , ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ නවකතාවක් ඇසුරින් නිමවූ ” මල්දෙණියේ සිමියොං” චිත්‍රපටයේ රඟපෑ ද්විත්ව චරිතය වෙනුවෙන් ලොව හොඳම නිළිය වූ ඈ අනෝජා වීරසිංහ මහත්මියයි.

අනෝජා කාන්තී සිරිවර්ධන, ඒ ඇයට දෙමාපියන් තැබූ නමයි. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක මෙලොව එළිය දුටු ඇය දිනෙක ලොව හොඳම නිළිය වේයැයි ඇයගේ දෙමාපියන් පවා ඇයවත් සිහිනයෙන් හෝ නොසිතන්නට ඇත. දේශපාලනය නම්වූ කුරිරු හස්තය නිසා රැකියාව අහිමිවූ ඇයගේ පියාට බදුල්ලෙන් මොණරාගලට සංක්‍රමණය වීමට සිදුවූයේ ඇය ඇතුළු 12 දෙනෙකු වූ ඇයගේ පවුල, දරිද්‍රතාවයේ පතුලටම ඇද දමමිනි. ඇය බොහෝ දුක් වින්ඳාය. එහෙත් ඇය ඒ දුක පරදා රඟපෑමේ හිනිපෙත්තටම නැග්ගාය. ඒකටුක අතීතය පරයා නැගුණු මේ ඒ සුන්දර අතීතයයි. ඇයට දැන් නොවටිනමුත් සිනමා පිස්සන්වූ අපට නම් සිත සිතා සතුටුවිය හැකි ඇයගේ සාර්ථක සිනමා දිවිය වූ ඒ අතීතය ගැන පසුවට කතා කිරීමට තබා වර්තමානයට ඔබ රැගෙන යාමට මට අවසර දෙන්න.

1989 වසරේදී එංගලන්තයේ London Academy of Music and Dramatic Arts ආයතනයට අනුයුක්ත වී වසරක පාඨමාලාවක් හැඳෑරීමට ඇය ලැබූ භාග්‍ය , මෙතෙක් ඇය ආ ගමන් මඟ උඩු යටිකුරු කිරීමට සමත්විය. ඇය එංගලන්තයට යාමට සුදුසුකම් ලැබුවේ ඊට ඉල්ලුම් කළ 3600 ක පිරිසකින් තෝරාගත් 36 දෙනාගෙන් එකෙකු වශයෙනි. ලංඩනයේ වසරක් ගතකොට එම පාඨමාලාව හදාරා ආපසු මව්බිමට පැමිණියේ අමුතුම අනෝජා කෙනෙකි. ඇය බොහෝ පරිණත වී සිටියාය. එහිදී හොඳින් උගත් යෝගී භාවනාවන් ඇයව අධ්‍යාත්මිකව ඉතාමත්ම දියුණු හා නිවුණු මනසක් ඇත්තියක බවට පත්කොට තිබිණි.

එදා ,එනම් මීට වසර 27 කට පෙර ආපිට මව්බිම වෙත පැමිණි අනෝජාගේ සිහියට ආවේ අමුතුම සිතිවිල්ලකි. ඒකාලය වනවිට රූපයෙන්, හැකියාවෙන් හා කීර්තියෙන් අගතැන්පත්ව වුන් ඇයවන් කාන්තාවක් සිහිනයෙන් හෝ ගන්නා අන්දමේ තීරණයක් නොවූ එය, වහාම ඇරඹීමට ඇය උත්සුක වූවාය.

ඇයගේ සිහිනය වූයේ ඇය උගත් දෙයින් හා ඇයගේ හැකියාවෙන් තම මව්බිමට සේවයක් කොට රටට ණය නැති දුවක ලෙස දිනෙක සතුටින් මිය යාමයි. එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝ මහත්තයා( ජෝ අබේවික්‍රම), ගාමිණි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවආරච්චි වැනි මෙකී නොකී , ජාත්‍යන්තර තලයේ තැබිය හැකි චරිතාංග රංගන ශිල්පීන් බිහිවූවත් ඒ කිසිම ආයතනයකින් හෝ ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන නොවීය. ඔවුන්ගේ ලේ, ඇට, මස් හා නහරවල සැඟවී තිබූ ජනමයෙන්ම ගෙනා හැකියාවෙනි. ප්‍රතිභාවෙනි. එලෙසින්ම අනෝජාද ලොව හොඳම නිළිය වූ මල්දෙණියේ සිමියොං සිනමා පටයේ රඟද්දී ඇයටද තිබුණේ උපතින්ම ගෙනා හැකියාව සහ ඩී බී නිහාල්සිංහ නම්වූ ඒ අති විශිෂ්ට සිනමාවේදියාගේ මඟ පෙන්වීම විනා උගත් ශාස්ත්‍රයක් නොවේ. මේ අඩුව පියවා සිංහල සිනමාව ඉතා උසස් තැනකට ගෙනඒම ඇගේ සිහිනය වූයේ එහෙයිනි. තමන් උගත් දෙය රංගනයට හා ගායනයට එක්වන යොවුන් පරපුර වෙත ප්‍රදානය කිරීම ඇගේ අරමුණ විය. ඒ සඳහා තමන්ගේම ශක්තියෙන් ගොඩනැඟිල්ලක් සදා ගැනීමට සුඳුසු ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට පැවති හැම රජයකින්ම ඇය ඉල්ලා සිටියාය. අරගල කළාය. එහෙත් ඒ සියල්ලම බීරි අලීන්ට වීණා වැයුමක්ම වුවද එයින් ඇයගේ පන්නරය තව තව මුවහත් වුණි. ශක්තිමත් වුණි. ඔප වැටුණි.

මේ කාලයේදී රටේ පැවති තත්වයද එතරම් යහපත් වූයේ නැත. උතුරේ හා නැගෙනහිර යුද ගිනි බුර බුරා ඇවිලිණි. යුද්ධයෙන් මිය යන හා අනාථවන පිරිස් දිනෙන් දිනම ඉහළ ගියේ ජීවත්වන්නන්ගේ මානසික ආතතිය හා බිය අහස උසට ගෙන යමිනි. මානසික රෝහල් හා පුනරුත්ථාපන කඳවුරැ පිරී ඉතිරී ගියේ මේ වකවානුවේය. අපගේ කතා නායිකාව , අනෝජා වීරසිංහ මහත්මිය මේ අවස්ථාවේ ස්වේච්ඡාවෙන්ම පෙරමුණ ගත්තාය. රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව ඇය මනෝ වෛද්‍යවරුනට තමන්ගේ උපරිම සහය දුන්නාය. මානසිකව අන්ත අසරණ අඩියට වැටී වුන් කාන්තාවනට, හමුදාවේ හා LTTE සංවිධානයේ වුවද අපේම රටේ දරුවන්ට ඇයගේ සහන හස්තයේ පහස ලැබිණි. මේ අතර 2004 වසරේදී රට තව තවත් ආගාධයටම හෙළමින් සුනාමි ව්‍යවශනයටද ලංකාව බිලී වූයේ අපේම කරුමයටය. එහිදීද ඇය අනාථවූ පිරිස්වල මානසික සුවය සැලසීමට ඔවුන් රැඳීවුන් අනාථ කඳවුරුවලට ගියේ දෙව්ලොවින් ආ සුරදූතියක් විලසිනි.

මෙසේ කාලය සෙමින් ගෙවී ගියේ කාටත් හොරාය. රංගනය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩනැගීම, තවදුරටත් සිහිනයක්ම වුවත් ඇය එම සිහිනයෙම එල්බ සිටියයා. මේ අතර ඒ දිනවල රූපවාහිනී නාලිනාවල ඉතා ජනප්‍රිය වූ සිහින තරු තේරීමේ වැඩසටහන්වල එම තේරීපත්වන දරුවන්ට හඬ නිසියාකාරව හැසිරවීම( voice training ) හා ඉදිරිපත්කිරීමේ කලාව (performing Arts) වැනි ක්‍රියාකාරකම් ඇය ලබා දුන්නාය.

මේ අතර පැවති රජයන් සියල්ලම ඇය වෙත ගොලුවත පාද්දී, ඇය මේ කරන්නට යන පරම්පරා ගණනකට සේවය සලසන කාලීන ව්‍යායාමය ගැන පැහැදුණු බෙල්ලන්විල විහාරාධිපති ස්වාමීන්වහන්සේ , විහාරභූමියට අයත් ඉඩම් කැබැල්ලක් ඇයගේ ” අභින” නමින්වූ රංගනය,ගායනය හා යෝගී අභ්‍යාස පුහුණු කිරීමේ ආයතනය ගොඩනැගීම සඳහා ලබා දීමට ඉදිරිපත්වූ සේක. උන්වහන්සේලාට පිංසිදුවන්නට, ඇය ඉතිරිකර ගත් මුදල් හා ජපානයේ වෙසෙන ඇයගේ මිතුරියක එවූ මුදලින් ඇය එම ගොඩනැඟිල්ල ඉඳි කළාය. එදා එනම් මීට වසර 27 කට පෙර ඇයගේ සිතට ආ එම සුන්දර සිහිනය හෙට එනම් දෙදහස් දාහත වසරේ මැයි 21 වනදින සැබෑවන්නට නියමිතය.

මේ කරුණු ඇය ගෙනහැරපෑවේ පසුගියදා ඇය සහභාගීවූ ජාතික රූපවාහිනියේ නුඟසෙවණ වැඩසටහනේදීය. එහිදී ඇය තවත් බොහෝ දෙනෙකු නොකරන අභීත ක්‍රියාවක්ද කළාය. එනම් ඇයගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමයි. මම ඊට පහුවෙනිදාම ඇයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවරක් නාද විය. අනෙක් කෙළවරින් ඇසුණේ සවනේ රැඳී තිබූ සුපුරුදු කට හඬයි. මට එකවරම සිහියට ආවේ කෙලිමඩල චිත්‍රපටයේ රංජනීය. සිරිමැඳුරේ ලීලාය.සෙයිලමේ සිසිලියා. ගුරුගෙදර විශාඛාය. මල්දෙණියෙ සිමියොංහී සෝමාය. එහෙත් එතන ඒ කවුරුන්වත් හෝ නොසිටියහ. අඩුමතරමින් අනෝජා වීරසිංහ නම්වූ එදා අපි දුටු ඒ අග්‍රගණ්‍ය සම්මානනීය නිළියවත් නොසිටියාය. එතන සිටියේ මහා නිවීමක් ලැබූ තැනැත්තියකි. අත්හැරීම ප්‍රගුණකළ අධ්‍යාත්මික දියුණුවක් ලැබූ තැනැත්තියකි.

එදා , 1987 නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම නිළිය වූ ඈ, 1986 වසරේ මල්දෙණියෙ සිමියොං හා 1993 වසරේ ගුරුගෙදර සඳහා හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද ඈ, 1987 වසරේ මල්දෙණියෙ සිමියොං, 1990 වසරේ සිරිමැඳුර, 1992 වසරේ කෙලිමඩල හා 1994 වසරේ සුරබිදෙන යන සිනමාපට වල කළ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම්ලද ඈ හෝ 1994 වසරේ කලාශූරී සම්මානයෙන් පිදුම් ලද ඈ එතන නොසිටියාය.

මගේ සිත මොහොතකට 1989 වසරේ මා නැරඹූ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැඳුර චිත්‍රපටයේ අවසාන ජවනිකාව වෙත දිව ගොස් නැවතිණි. මුළු සිනමා ශාලාවම මීයකට පිම්බාක්මෙන් නිශ්ශබ්දය. මගේ යාබද අසුනේ සිටින නරඹන්නාගේ හදවත ගැහෙනා රාවය පවා මට ඇසිණි. සිනමා ශාලාව දෙවනත් කරමින් ඇසුණේ වෙඩි හඬවල් දෙකකි. ඉන්පසු නැවතත් ඒ මූසල නිහැඬියාවය. එකෙණෙහිම තිරය පුරා දිස්වූයේ අසරණව , මරණ බියෙන් නිවසින් එළියට පැන ඉදිරියට දිව එන ලීලාය. තමන්ට හිමිව තිබූ ඒ ආදරය හා එයින් උපන්‍ රාගය තමන්ගෙන් උදුරාගන්නට ආ තැනැත්තියව සහ තමන්ට අහිමිවීයන තම පෙම්වතාව ඒ නූගත් කෙල්ල වෙඩි තබා මරා දමා තිබුණාය.

දුරකථනයෙන් ඇදී ආ එතුමියගේ හඬින් නැවතත් මම පියවි ලොවට ඇද වැටුණෙමි. එදා හැත්තෑව දශකයේ අගභාගයේ සිට අනූව දශකය අග භාගය දක්වා චිත්‍රපට 90කට වැඩි වාණිජ හා සම්භාව්‍ය චිත්‍රපටවල රාශියක රඟපෑ ඇයගේ භූමිකාව සිහිනයක සිරවෙද්දී අද පොළොවෙ පයගසා ජීවත්වන ඒ සුන්දර දිරිය කත සමඟ මම දොඩමළුවිමි. ඇය 21 වෙනිදා අරඹන අභින ගැන ඉතාමත්ම සතුටින් හා තෘප්තියෙන් යුක්තව කතා කළාය. ඇයගේ හඬෙහිවූයේ ඉතාමත්ම දුක්විඳ ලබාගත් විජයග්‍රහනයක තේමාවය.
ඇය එම මාවතේ හෙට දින උපදින තවත් දහසක් මල් කැකුළු පුබුදුවමින් ගමන් කරනු ඇත. මම තවත් ඇයගේ වටිනා කාලය කා නොදමා ඇයට සමු දුනිමි. එදා කුඩා කාලයේ අනුරාධපුර කාටු විජේන්ද්‍රා සිනමා ශාලාව අබියස තිබූ කුණු ගොඩින් අහුලාගත් සිනමාපට දල සේයාපට කැබලි ඉදිරියෙන් තාත්තාගේ විදුලි පන්දම අල්ලා අඳුරු කළ කාමරයක බිත්තියක් මත ගෙදර අයට බයිස්කෝප් පෙන්නූ මට, සිනමාපටයක් නරඹා ගෙදරවිත් ගුවන්‍ විදුලියේ ප්‍රචාරයවන සිනමා වෙළඳ දැන්වීම් වලට සවන් දී සිනමාපටයේ දෙබස් කට පාඩම් කළ මට සහ එතැනින් නතර නොවී සිනමා ශාලා සහ ඒවා පිහිටි නඟර ගිරවකුසේ වැමෑරූ මට , මා ආදරය කළ නිළියකට කතා කිරීමට ලැබීමේ සතුට කෙතරම්ද යන්න මා මෙන්ම සිනමාවට පෙම් බැඳි හා එහි ජීවත්වූ සහෘද ඔබ සැමට අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නැතිබව මම දනිමි. අවසාන වශයෙන් ඇයට සුබ පැතූ මට ඇයගේ අභින ආයතනයේ ඊමේල් ලිපිනය දීමටද ඇය අමතක නොකළාය. ඔබටත් අවැසි නම් එතුමියට සුබ පැතුමක් එක් කරීම සඳහා එය මෙහි පළ කරමින් මම නවතිමි. දයාබර අනෝජා වීරසිංහ මහත්මියනී ඔබගේ සියලුම ඉදිරි කටයුතු ඔබ සිතූ පැතූ අයුරින්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය නිරතුරුවම ලැබේවා!

abina@sltnet.lk එතුමියගේ ඊමේල් ලිපිනයයි.

චන්දන ගුණසේකර

  • May 1, 2021

සිනමා අඹරේ මැකී ගිය රිදී ” රේඛාව”…

අදට තෙවසරකට පෙර දැයෙන් සමුගත් ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පිළිබඳව එදා මා තැබූ සටහන එතුමන්ට උපහාරයක් විළස නැවත පළකරමි.

මගේ මතකයෙ හැටියට ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහසේ ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත ” අඩසඳ යාය” පමණක් ඉතිරි කොට සියලු දිය බිඳක්ම අහසට ඇද ගත්තේ ඉතාමත්ම ප්‍රචණ්ඩව , හිත්පිත් නැත්තකු විලසිනි.

මිනිසුන්ගේ සිරුරුවල රුධිරයද කෝප වී තිබූ ඒ කාලයේ රටේ නීතිය වල් වැදී අවනීතියම රජ කරමින් පැවතියේය. දිනෙක රජයේ ඇඳිරි නීතිය නිසා මිනිසුන් නිවෙස් වලට ගාල්වූ අතර තවත් දිනෙක අවි ගත් කොල්ලන්ගේ කැලෑ නීතියට යටත්ව මිනිසුන් නිවෙස්වලට සිර වූහ.

ඔළුව වසා ගත් බිල්ලකුගේ හිස සෙලවීමක් වෙඩි පාරක රස විඳ මහ මඟ මැරී වැටෙන්නටත් ” ගම් පෙරළිය” වැනි පොතක් ළඟ තබා ගැනීම ටයර් සෑයක පණපිටින් දැවී යාමටත් සුදුසුකමක් වූ ඒ රාක්ෂයාගේ අවනීතිය රජවූ යුඟයේ මිනිස්කමට හෝ මරණයට වටිනාකමක් තිබුණේම නැත.

නිවෙස්වල ගාල් වූ මරණ භයින් පීඩිත මිනිසුන්ට කළ හැකි දෙයක් නොවුණි. රජයේ රූපවාහිනියට ඔරවාගෙන සිටිනු හැර කරන්නට දෙයක් හෝ එළියට යන්නට නිදහසක් හෝ තිබුණේ නැත. එයට විසඳුමක් ලෙස රජය කළේ අපූරු වැඩකි. එනම් මහ දහවලේ රූපවාහිනියේ සිනමාපට විකාශනය කිරීමයි. එසේ ඕනවට එපාවට බලා සිටි සිනමාපට අතර දිනෙක මා අමුතුම ලොවකට ගෙන ගිය සිනමා පටයක් අහම්බෙන් මගේ නෙත ගැටිණි. එය ” දෑස නිසා” නම්වූ අතර එහි අග්‍රගණ්‍ය නළු ජෝ අබේවික්‍රමයන් මා අමුතුම ලොවකට රැගෙන යාමට සමත් විය. දෑස් කඳුළින් පිරිණි. හදවත දැවී උඟුරේ යමක් සිරවූවාක් මෙන් මට දැනිණි. සිනමා පටයේ කතාව එතරම්ම සංවේදී විය. තාත්වික විය.

මා මීට බොහෝ කලකට පෙර දුටු මගේ දිව්යේ නැරඹූ ප්‍රථම සිනමා පටය වූ ” මාතලන්” වැනි ඉන්දියානු ආරට තැනූ චිත්‍රපට වලට වඩා ” දෑස නිසා” හි තිබුණේ අපේ කමකි. ලාංකික අනන්‍ය්තාවයකි.

” දෑස නිසා ” නරඹා උත්තේජනය වූ මම එහි තොරතුරු සොයා වෙහෙසුනෙමි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ මහා සිනමාවේදියාය. එදා සිංහල සිනමාවේ දෑවැන්ත තිරයට තනා තිබූ එහි රූප රාමු අඟල් 12 පුංචි තිරයට කෙලෙසවත් ගැළපුණේ නැත. එහෙත් ඊට පෙර මා කුඩා කළ සිනමා ශාලාවකට ගොස් නැරඹූ ” මඩොල්දූව” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයාද එතුමාම බැව් මා එය නරඹද්දී එතරම් තේරුමක් නොතිබුණද ” දෑස නිසා” ගැන සොයද්දී ඒ බැව් දැන ගතිමි.

එතුමා 1955 දී තැනූ , එතුමන්ගේ මුල්ම සිනමා නිර්මානය ” රේඛාව” ද මට නරඹන්නට ලැබුණෙ පුංචි තිරයෙනි. ඒ සමයේ නිපදවූ ගතානුගතික වට්ටෝරු ඉන්දියානු කොපි සිනමා කෘතිවලට කනේ පහරක් එල්ල කළ ” රේඛාව” අපට අපේම කියා සිනමා මඟක් ඇතිබව ලෝකයට පෙන්වා දීමට සමත් විය. මහ සිනමාකරු වංගදේශයේ සත්‍යජිත් රායි මෙන් ලෙස්ටර් සූරීන් තම සිනමාවෙන් අපේ ගැමි ජීවිතයට, සංස්කෘතියට හා අපේ කමට ආමන්ත්‍රණය කළේය. ” රේඛාව” සිනමාපටයට අපේ දිවියම වූයේ එහෙයිනි. එමෙන්ම එහි ගීත රචනා කළ ගරු මර්සිලින් ජයකොඩි පියතුමන්ගේ ශූර ගීපද රචනා එයට පැලඳවූ මුතු පොටක්ම විය. ඒ ගීත අදටත් දනන් තුඬ තුඬ රැව්දෙන්නේ එහෙයිනි.

එපමණක්ද ලෙස්ටර් මහත්තයා තැනූ ” ගම්පෙරළිය” එදා මාටින් වික්‍රමසිංහයන් අපේ සිත්වල කෙටූ චරිත ජීවමාන කිරීමක් විය. එතැන්නි නොනැවතුනූ ලෙස්ටර් සුරීන්, සත්‍යජිත් රායි තුමන් ” අපූ ත්‍රිත්වය” සිනමාවට නැඟුවාක් මෙන් මාටින් වික්‍රමසිංහයන්ගේ ඒ තුන් ඈඳුතු නවකතාව ” ගම්පෙරළිය”, ” කලියුගය” හා ” යුගාන්තය” සිංහල සිනමාවේ දිඟ හැරීය.

ජී. බී. සේනාණායකයන්ගේ “පළිගැනීම ” නම්වූ කෙටි කතා සංග්‍රහයේ තිබූ පිටු දෙක තුනක පුංචි කතාවක් වූ “නිධානය” කෙටි කතාව ඇසුරින් තැණූ ” නිධානය” සිනමාපටය ලෝක මට්ටමේ තැබිය හැකි ලෝක පූජිත සිනමා කෘතියක් නොවේ යැයි පැවසිය හැක්කේ කාහටද? එහි තිස්ස අබේසේකරයන් විසින් ලියූ අති විශිෂ්ට තිර රචනය මේ ප්‍රාතිහාරයේ රහස වූවත් අධ්‍යක්ෂකයාගේ ශූරකමත් ප්‍රතිභාවත් නොමැති වූවානම් එය තිරයට ප්‍රක්ෂේපණය වන්නේ නැත. ලෙස්ටර් නම්වූ මහා හිරුගෙන් බැබළුණු තවත් තරුවක් බවට පත්වූ තිස්ස අබේසේකරයන් පසු කලෙක තවත් ඉරක්ම වූයේ ඒ විසල් සූර්‍යයාගේම ආභාසයෙනි.

එපමණක්ද එතුමා තිරයට ගෙනා ලෙනාඩ් වුල්ෆ්ගේ ” බැද්දේගම ” අපට අමතක කළ හැකිද? එහි ජෝ අබේවික්‍රමයන්, හෙන්රි ජයසේනයන්, විජය, මාලිනී හා නදීකාගේ රංගනයන් කෙසේනම් අමතක කරන්නද? මෙහි “බබුං” ගේ චරිතයට විජයව තෝරා ගැනීම එතරම්ම හොඳ තේරීමක් නොවූවත් විවේචනයට බඳුන් වූවත් ජෝ අබේවික්‍රමයන්ගේ අතිවිශිෂ්ට රංග ප්‍රතිභා ආලෝකය හමුවේ එම කරුණ කඳෝපැණි තත්වයට පත්වූ බව මගේ හැඟීමයි.

එහෙත් සහෘදයිනී, ලංකීය සිනමාවේ ගමන් මඟ වෙනස් කළ , එයට අපේ කම කාන්දු කළ , අමරණීය නිර්මාණ රාශියක් දැයට දායාද කළ හා බෙහෝ සිනමාකරුවන් රාශියකට සිනමා ගමන් මඟ සාදා දුන් ඒ අමරණීය යුඟ පුරුෂයා අද නිසොල්මනේ සන්සන්ව අවසන් නින්දේ පසුවන්නේ යැයි සිතන්නට කෙසේ නම් සිත හදා ගන්නදැයි මට නොතේරේ. මහා සන්සුන් නිහැඬියාවකට පසුව ආ චණ්ඩ කුණාටුවක් සේ එම ආරංචිය මට දැනගන්නට ලැබුණේ පසුගිය ඉරිදා, 29 වෙනිදා හැන්දෑ යාමයේය. රාස්සිගේ මූසල අව් රැල්ල උස් බිල්ඩින් පසු පසින් සැඟව ගිය ඒ ගොම්මං යාමයේය. හදවත කඩා වැටුණේ මටත් නොදැනීමය.

වසර 99 ක් වූ එතුමන්ගේ දිඟු දිවි ගමනේ 1949 සිට 2006 දක්වා සක්‍රීයව සිටියද 2006 න් පසු එතරම් පෙනෙන්නට හා දැනෙන්නට දායකත්වයක් සිනමාවට නොලැබුණු බව සත්‍යකි. 2006 වසරේ ” අම්මාවරුණේ” සිනමා පටයෙන් පසු සිනමාවෙන් විශ්‍රාම ගන්නා බව එතුමා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. එහෙත් මේ ඊයෙ පෙරේදා සිනමාහල් වල ප්‍රදර්ශනය ඇරඹූ ලෙස්ටර් මහත්තයාගේ ආදරණීය බිරිඳ අධ්‍යක්ෂණය කළ “වෛෂ්නාවී” සිනමාපටයේ නම පවා තබා තිබුණේ ලෙස්ටර් මහත්තයාම බව ඔබ දන්නවාද?

එතුමන් වියෝවූ අද දින මහා සිනමාවේදීන්, නළු නිළියන්, සිනමා විචාරකයන්, ලේඛකයන් හා කවියන් එතුමන් ගැන මහා විදග්ධ සටහන් හා කවි ලියන බව මම දනිමි. එහෙත් සිනමාව ගැන මහා දැනුමක් නැති, එයට සම්බන්ධ නැති හා සිනමා විචාරකයකු හෝ ලේඛකයකුද නොවන මට, ඒ සුදුසුකම් නැතත් ,සිනමාවට බොහෝ ආදරය කරන, පුංචි කාලයේ තාත්තා මධුවිතින් මත්ව සිටින වෙලාවක් බලා මුදල් ඉල්වාගෙන සිනමාහල් වලට එන සෑම චිත්‍රපටයක්ම නැරඹූ චිත්‍රපට පිස්සකු ලෙස හා එකල සිනමා ශාලාව ඉදිරිපිට ඇති කුණු ගොඩින් අහුලාගත් සිනමා පටයක සෙලියුලයිට් කෑල්ලක් පෙට්ටියක් අස්සෙන් යවා ඊට පිටුපසින් ටෝච් බල්බයක් දල්වා අඳුරු කාමරයේ බිත්තියක් මත පවුලේ අයට චිත්‍රපට පෙන්වූ පුංචි කොල්ලකු වූ මට විසල් අයිතියක් ඇත. ඒ අයිතිය හා අපේකම මගේ මෙම සටහන ලිවීමේ ” සුදුසුකම” බව මම විශ්වාස කරමි.

එංගලන්තයට ගොස් එහිදී හමු වූ තවත් ලාංකික මිතුරකු සමඟ නිපදවූ ඉංගිරිසි කෙටි චිත්‍රපටයකින් ඇරඹි ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ මේ දිඟු ගමන් මඟ මහා දිඟ පුස්තකයක් වැන්න. 1949 දී නිපදවූ එය මිනිත්තු 12 ක් දිඟු ” Soliloquy” නම් විය. ඉන්පසු 1950 දී ” A Sinhalese Dance(08min)” හා ” Farewell to Childhood(14min)” , 1954 දී” Conquest in the dry Zone( 14 min)” හා 1955 දී ” Be Safe or Be Sorry( 16min)” යන කෙටි චිත්‍රපට නිර්මාණය කළ අතර ඒවායින් සම්මානයටද පාත්‍ර විය.

ඉන් පසු ලංකාවට පැමිණ එතුමා නිර්මාණය කළ “රේඛාව” , සිංහල සිනමාවේ එතෙක් ආ ගමන් මඟ උඩු යටිකුරු කළ අතර එහි හැරවුම් ලක්ෂයද වූයේය. එදා මෙදා තුර 2006 වසර දක්වා එතුමා රටට දායාද කළ සිනමාපට සංක්‍යාව විස්සකි. නිර්මාණය කළ සිනමා සංස්කෘතියට ගණන් මිනුම් නැත.

මා ඉහත දැක්වූ විශ්ෂ්ට සිනමාපටවලට අමතරව එතුමා කරුනාසෙන ජයලත් සූරීන්ගේ ” ගොළුහදවත” නවකතාව ඇසුරින් තැනූ ” ගොළුහදවත” සිනමා කෘතිය ලංකීය යොවුන් හදවත් තුළ ප්‍රේමනීය සංකෘතියක් බිහි කිරීමට සමත් විය. තරුනන් පැරදුණු ආදරය හමුවේ මත්පැනට ඇබ්බැහිවී ” සුගත්” මෙන් දිවිය අවුල් කර ගැනීමේ ආදිනව සිනමා පටයෙන් උගත්හ. එපමණක්ද ” දෙලොවක් අතර”, රන් සළු”, ” අක්කර පහ”, ” අහසින් පොළොවට” හා ” අවරගිරි” වැනි සිනමා කෘති ලෝක සිනමාව හා කරින්කර මට්ටමේ තැබිය හැකි සිනමා කෘති විය. එතුමා නිර්මාණය කළ “මඩොල්දූව” හා ” පිංහාමි” යන ළමා චිත්‍රපට වලින් අපගේ ළමා ලෝකය ඒකාලෝක වුණි. එතුමා 1979 දී තැනූ ” වීරපුරන් අප්පු” චිත්‍රපටය ජනතාවගේ ජාතික හැඟුම් පුබුදුවාලීමට සමත් වූයේ එහි තිබූ විශ්ෂ්ඨත්වය නිසාමය.

ලාංකීය සංගීතයේ අමරදේවයන් යම්සේද, සාහිත්‍යයේ මාටින් වික්‍රමසිංහයන් යම්සේද, නාට්‍ය කලාවේ මහාචාර්‍ය සරච්චන්ද්‍රයන් යම්සේද සිනමාවේ මෙතෙක් පහළ වූ මහා යුඟ පුරුෂයා ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ම වන්නේය. එහි කිසිදු විවාදයක් නැත.

එතුමන්ගේ මෙම ප්‍රතිභාවට සහ හැකියාවට බෙහෝ සම්මානයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි. එතුමා තැනූ ” රේඛාව, ” ගම් පෙරළිය”, ” දෙලොවක් අතර” හා ” ගොළු හදවත” යන සිනමාපට වලට හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයද, “අහසින් පොළොවට” හා ” යුගාන්තයට” හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයද හිමි වූ අතර ” ගම්පෙරළිය” මොස්කව් සිනමා උළෙලටද, ” නිධානය” ලංඩන් සිනමා උළෙලටද, “පිංහාමි” මොස්කව් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලටද, ” බැද්දේගම” හා ” කලියුගය” ඛාන් චිත්‍රපට උළෙලටද හා ” යුගාන්තය” මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලටද ඉදිරිපත් වූ අතර එහිදී ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසාදයට පත්වූ අතර සම්මානයටද පාත්‍ර විය.

ලංකාව තුළ ලාංකික සිවිල් පුරවැසියකුට ලැබිය හැකි උසස්ම නම්බු නාමය වූ “ශ්‍රී ලංකාභිමාන්‍ය ” නාමයෙන්ද 2007 වසරේදී පිදුම් ලද ලෙස්ටර් සූරීන් වෙනුවෙන් 2002 වසරේදී එතුමන් නමින් සමරු මුද්දරයක්ද නිකුත් වූයේ ශ්‍රී ලාංකිය සිනමාවට කළ අමිල සේවයටත් අපගේ සිනමාව ජාත්‍යන්තරයටත් ගෙනයාමේ උතුම් කාර්‍යටත් කෘතගුණ දැක්වීමක් වශයෙනි.

මිය යාමට දින කිහිපයකට පෙර එතුමන්ම නම තැබූ ” වෛෂාණාවී” චිත්‍රපටය තිරගතවන බව ඇසීමටත් එතුමන්ගේ 99 වැනි ජන්ම සංවත්සරය සැමරීමටත් තරම් එතුමා වාසනාවන්ත විය.

මෙසේ විසල් ගස් එකින් එක ඇද වැටෙද්දී හදවතට දැනෙන්නේ නම් විශාල කම්පනයකි. එහෙත් ඒ විසල් ගස් යට වැඩුණු යටි රෝපණය දැන් දැන් නව හිරු රැස් වැටී උඩට මතුවී එනු ඇත. ලෙස්ටර් මහත්තයලා දහඩිය මහන්සියෙන් තැනූ ගමන් මඟ ඔවුනට තෝතැන්නක් වනු ඇත. ඔවුන් නැසී ගියද කොහෝ සිට හෝ ඔවුන් විහිදුවන කිරණයේ ආලෝකය ඒ ගමන් මඟ එළිය කරන සහන් එළියක් වනු ඇත.

ඉඳින් ආදරණීය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාණෙනි මට සමුගන්නට අවසර. ඔබ අද නැතිද ඔබගේ අමරණීය නිර්මාණ සහ ඔබ සෙවණේ වැඩුණු ඔබගේ ආදරණීය බිරිඳ ඇතුළු සුව හසක් සිනමාවේදීන් හා අංකුර කලාකරුවන් ඔබ නැවැත්වූ තැන සිට ඒ ගමන දිඟටම යනු ඇත. එය එසේම වුවහොත් එයටත් වඩා ඔබට කළ හැකි උපහාරයක් තවත් නම් තිබේද? ඔබගේ පැතුමද එයම වන්නට ඇත. ” රේඛාවෙන් ” ඇරඹී ” අම්මාවරැන්” ගෙන් අවසන් කළ ඔබගේ මහා සිනමා දිවි මඟත් 1919 ඉපිඳ 2018 දක්වා දිවූ ඔබගේ භෞතිත දිවිමඟත් මෙලෙසින් අවසන් වූවත් ඔබගේ නාමය සදා කල්හිම අමරණීය වනු ඇත. එසේනම් ඔබට සුවදායී නින්දක් සමඟ සුබ රාත්‍රියක් යැයි පතමින් මම නවතිමි.

චන්දන ගුණසේකර

Get in touch

Please feel free to contact me.